Sunday, December 28, 2025

මැණිකේ සඳවත


සුළගේ කෙහෙරැලි දානා,     නැළවිල්ලක්

දැකලා හදවත පානා,        කැළබිල්ලක්

දසතේ සිතිවිලි ධාරා,           විසිරිල්ලක්

නොමැතේ මට නම් ආයේ,  සැනසිල්ලක්


මැණිකේ සඳවත කිම්දෝ,  ලතැවෙන්නේ

සදලා අතු පැල බැද්දේ,      සැඟවෙන්නේ

අතුරා සෙනෙහස රිස්සේ,    තනිවෙන්නේ

දැනෙනා හැඟුමන් සිත්සේ,     විඳගන්නේ

( රැදි ඡන්දස අයත් බහසුරුවිදඹ විරිත ඇසුරෙන් )


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.


Wednesday, December 24, 2025

මතකයට එන වෙලාවට ........




ඔයාව මට හමුවුන හැටි අදටත් හරියට චිත්‍රපටියක් වගේ මගේ මතකෙට එනවා. 

ඒ නිලුපුල් ඇස් වලින් දෝරෙ ගලා ගිය ආදරේ තේරුම් ගන්න මට අමාරු වුණේ නෑ.  අපිටම අපි ආදරේ කරන බව දැන ගත්තහම මට දැනුන හැඟීම විස්තර කරන්ඩ ඇත්තටම මගේ ළඟ වචන තිබුණේ නෑ. මට දැනුනේ අපි භවෙන් භවේ අපිටම උරුම වෙලා උපත ලබන්න ඇති කියලා ඒ තරමටම මං සතුටට පත්වෙලා හිටියේ.  ඔයාත් එහෙමයි කියලා මම හිතුවා.

පසුගිය කාලය තුල සිදුවුන කිසිම දෙයකට ඇහුන්කම් දෙන්න තරම් ඔයා සුදානම් නැති නිසයි අවසානේ  මෙහෙම ලියලා තියන්න මම තීරණය කලේ. මමත් තවම හිතනවා අපිට වැරදුනේ කොතනද කියලා. 

අපේ ආදරය ටික ටික ලියලනකොට ඔයාලගේ ගෙද​ර ඇවිල්ලා අප්පච්චිගෙන් ඔයාව ඉල්ලන්න තරම් මට හයියක් තිබුණේ නැත්තේ ඒ වෙනකොට ඔයාව රකින්න තරම් හොඳ ආදායම් මාර්ගයක් මට නොතිබුන නිසායි. 

ආදරේ නාමෙන් ඔයාව කැන්දගෙන ගිහිල්ලා හරියට කුසට හරක් නැතුව ආස හිතෙන දෙයක් අරන් දෙන්න බැරුව ඔයාට දුක් දෙන්න නරම් ආත්මාර්ත කාමී වෙන්න මගේ හිත මට ඉඩ දුන්නෙම නෑ.  හැමදාමත් මගේ හදවත් මාලිගයේ ඔයාව රැජිණක් කරලා ඔටු​ණු පලන්දන්න තමා මම පෙරුම් පිරුවෙ. 

ඒ හින්දම තමයි ලැබෙන කුමක් හෝ රැකියාවක් කරන්ඩ ඕන කියලා හිතාගෙන මම පිස්සෙක් වගේ රස්සාව​ක් හොයාගන්න වැඩිපුර කාලෙ වැ​ය කාලේ.  මෙතනදිද මට ඔයාව මඟ ඇරුනේ සු​දූ.... ? 

මේ වෙනකොට මගේ පස්සෙන් කොයිතරම් නම් ගෑණු ළම​යි එන්න අතිද...  ඒත්  ඔයයි ඔයාගෙ ආදරෙයි නිසා මුලු හදවතම පිරිලා තිබුනේ. ඔයාට වෙන්කරපු හදවතේ  තව කෙනෙකුට පුදදෙන්න තමර  පුංචිම හෝ  ඉඩක් මට තිබුනේම නෑ. ඒ තරම්ම ආදරණීය විදිහට තමයි මම ඔයාට ආදරේ කළේ.  

මගේ උනන්දුවේ උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට මට හොඳ රැකියාවක් ලැබුනාට පස්සෙ  සාර්තක පුද්ගලයෙක් විදිහට  පුංචි ගෙයක් හදලාම ඔයාව කැන්දගෙන යන්න හිතාගෙන තමයි පොඩි ඉඩම් කැල්ලකුත් අරගෙන ඉදිරි වැඩටික පටන් ගත්තේ.   

මේ වෙනකොට ඔ​යා ටිකෙන් ටික මගෙන් ඈත් වෙන්න පටන් අරගෙ​න බව ඉඟියකින් වගේ මට දැනෙනකොට කොයි තරම් නම් මම අසරණ උනාද කියලා දන්නේ මමම  විතරයි. ඒත් නිකමට වත් ඒ ගැන  කතා කරන්න තරම් වත් ඔයා මට ඉඩක් නොදීම ගැන අදටත් මම හිතන්නෙ වේදනාවෙන්.  ඒ සැකයේ බීජය කොහොම කවුරු ඔයාගෙ හදවතේ රෝපනය කලාද  කියන්න මම දන්නෙ නෑ....  ඒ වුනාට ඒ ගැන කතාබහ කරලා විසදුමකට එන්න තරම් සූදානමක් ඔයා ලඟ තිබුනෙත් නෑ.

මටත් ලැබුනා ආරංචි මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබිලා කියලා.  හේතුව ඒකමද මගෙ මැණීක? 

අපි දෙන්නාම එකතුවෙලා ගොඩනගාගන්න හිටපු කැදැල්ලෙ අද මම තනියම සුසුම් හෙලනවා.  ඔයා ඇර වෙන කිසිම කෙනෙකු මේ කැදැල්ලට හිමිකාරිය වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. 

අදටත් ඔයා මගේ ලඟට එනවානම් ඔයාව පිළිගන්න මගෙ මුලු ආත්මයම සූදානම් වෙලා ඉන්න බව ඔයා දන්නවා නම්..... 

කරන්න කිසිත් ඉතුරු වෙලා නෑ. කියන්න කෙනෙකුත් ලඟ නෑ.. දුම් වැටියෙන් ගුවනට මුසුවන විවි​ධ හැඩ තල දිහා බලාගෙන කල්පනා කරනවා ඇරෙන්න. 

ඒ වගේ වෙලාවල් වල හිතේ තෙරෙපෙන කවි සිතිවිලි වචන වෙලා මේ විදිහට කොල කෑල්ලක සටහන් වුනේත් ඒ දුක නිවන්නම වෙන්න ​ඇති. 


උරුමයට තිබු පින නිසා අපි හමුවුණා යැයි                සිතන්න
මොහොතකට පැතු​වා ද තෙරපෙන ලතැවුලෙන් හිත   මුදන්න
බොරුවකට හැකි වුනේ කවදද බැඳුනු දෙහදක්           බිඳින්න
මතකයට එන වෙලාවට අපෙ අතීතය සිහි                කරන්න

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

Wednesday, December 17, 2025

ඇයි මේ රිදවිල්ල

ඇයි මේ රිදවිල්ල 



රහසින බාල කාලේ සිට ලොබ           බැන්ද

සහසකි පැතුම් ගොනුකල නොමැතිව  නින්ද

සැම පෝයටම සිල් ගෙන තෙරුවන    වැන්ද

අප වෙන් වෙලා දෙතැනක හේතුව       මන්ද


කෙළිලොල් වියේ සිටි ඔබ හරි       දඟමල්ල

නව යෞවනය එලබී වුනෙ           හැඩමල්ල

විසිතුරු වදන් සැමටම බෙදු          රසමල්ල

සිතුනෙම මෙමට ලැබුනා යැයි       ජයමල්ල


මහමෙර පරදවන සෙනෙහස         ඉතිරිල්ල

නවතනු කෙළෙස හද කළඹන        සිතිවිල්ල

පෙර ලෙස නොවේ නුඹ දක්වන     සැලකිල්ල

නෙතු යුග බොඳ කරයි මතුවන      කඳුලැල්ල


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Tuesday, December 9, 2025

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා


හිතේ තියන දුක මෙහෙම හරි කියන්න ලැබෙන එක සතුටක් වෙයි කියලා මට හිතුනා. මගේ ජීවිතේ ම දුකක් තමයි. එත් මේ තව එක අවස්තාවක්.

මට හිටියේ හරි අපුරු නෑනා කෙනෙක් මම නෑනාට හිතින් ආදරය කල තරම කොයි තරම්ද කියලා කියන්න මට වචන නැති තරම්. 

එයා සිලිඳි. මයෙ අම්මගෙ එකකුස උපන් මලයාගේ එකම දූ.
එයා මට වඩා අචුරුදු කිහිපයක් බාල උනත් අපි ගමේ ඉස්කෝලෙට ආවගියෙ එකටමයි. මාමණ්ඩි හිතුවෙ මා එක්ක යන එන එක කෙල්ලගෙ පරිස්සමට හොඳයි කියලයි.  

අපි දෙන්නා පුංචි ඔරුවෙන් ඈතට ඈතට ගිහිල්ලා තරඟෙට වගේ ඕලු මල් නෙලපු හැටි අදටත් හරිම සුන්දර මතකයක් විදිහට හදේ ගැඹුරුම තැන ඇලවිලා වගේ. ඒ හුරුබුහුටි දිගැටි ඇස්  දෙක දිහා බලාගෙන කොයි තරම් නම් සිහින මැව්වාද කියලා දන්නෙ මමයි මගේ හිතයි විතරමයි.  
එත් සිලිඳි තාම පුංචි එකී නිසා මේ කිසිම හැඟීමක් පවසාගන්න තරම් මට හයියක් තිබුනේ නෑ. ඒ සමහර විට මාමණ්ඩි මා කෙරෙහි තියපු විශ්වාසය නිසාම වෙන්නත් ඇති. මම බලාගෙන හිටිය මගේ පුංචි මල් කැකුළ ඩිංග ඩිංග පිපීගෙන එන හැටි. 

කුඹුරට පෝර හෝ වෙනයම් දෙයක් ගේන්න ටවුමට යන හැම විටම මයෙ සිලිඳි ට  චිත්ත රෙද්දක්, පබුළු වැලක් ගෙනත් දෙන්න මම අමතක කලේම නෑ. මගේ මේ ආදර සැලකිලි නිසා නැන්දම්මා මාමණ්ඩි මොනා හිතුවාද කියලා මම දන්නේ නෑ. ඒත් ඒ ගැන වැඩිපුර හිතන්න මට උවමනා කලෙත් නෑ. 

මේ විදිහට කාලයක් මම සිහින ලෝකෙට වෙලා කෙල්ලට ආදරේ කරන කොට ලැබුන ආරංචිය ගැන හිතාගන්න බැරුව මම තනියම වැළපුනා.  ඇයි මම මගේ හිතේ අදහස කලට වෙලාවට මාමණ්ඩි ට නොකීවෙ කියලා අදටත් ලත වෙනවා. මාමණ්ඩි හිතන්න ඇති මම ඇයට සෙනෙහෙ පාන්නේ  මගේ නෑනා නිසාමයි කියලා. 

පිට ගමේ ඉලන්දාරියා නෑනාව බලන්න ගමට එන දවසෙ තමයි මට මගේ දුක දරාගන්න බැරි උනේ.  

එදාට මටත් එන්න කියලා මාමණ්ඩි  කියන්න ඇත්තේ උන්දැගෙ අක්කණ්ඩිත් පුතා එක්ක එන එක හිතට හයියක් කියලා හිතලා වෙන්න ඇති.  අනේ මමත් ගියේ ඒකි මගේ ඇවැස්ස නෑනා වෙච්චි කොට නොයා බරිකමට..

එත් අද මම ....  සියඹලා ගහ පාමුළ ඉඳගෙන ඈත වෙල්යාය දිහා බලාගෙන කොයි තරම් නම් වෙලා තනියම කල්පනා කර කර ඉන්න ඇතිද කියලා මමවත් දන්නේ නෑ. 

මේ විදිහටම සිලිඳි වත් එහා පැත්තේ තියාගෙන ඉමක් කොනක් නොපෙනෙන වෙල් යාය දිහා බලාගෙන විහිළු කතා කියන්න යි, පුංචි ඔරුවෙන් ඈතට ඈතට ගිහිල්ලා ඔහේ පාවෙවී ඉන්න ගමන්  ජිවිතේ අනාගත සිහින දකින්නයි මම හරියට ආස කළා.

මොනා වුනත් බහ තෝරන වියේ ඉඳලාම ආදරය කල කෙල්ලට වෛර කරන්න තරම් පහත් හිතක් මට නෑ. ඒ ඉලන්දාරියා නෑනාව හොඳින් බලා ගනියි. ඔවුනට සුබ මංගලම් කියලා නෙතේ බොඳ වුන කඳුළක් කාටත් හොරෙන් මම පිසදා ගත්තා. 


හිතේ දුකට කවි ලියැවුනේ මටත් නොදැනීමයි ..

සිත් යායේ තෙරපෙන්නේ, බැල්මෙන් ලත්  හසරැල්ලක්

නෙත් මානේ රජවෙන්නේ, හෙම්බත් වූ     කඳුළැල්ලක්

තෙත් කම්මුල් පවසන්නේ, රෑ නින්දෙත්     විඳවිල්ලක්

මන් ආයේ නොපතන්නේ, දුක් ගේනා        සිතිවිල්ලක්

(ආලෝලා විරිත ඇසුරින්. )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Thursday, December 4, 2025

නෑනේ එළිය වනු දිවියට


හේනේ පැලේ රෑ තුන් යම ගෙවන           මට
තේරේ සෙනේ අඩුකම නොදෙඩුවද       කට
සීලේ බිඳී පැන්නත් මායිමෙ​හි                වැට
නෑනේ එළිය වනු දිවියට අඳුර               බට

දුටු මොහොතෙ ම​යි පෙම්පි​රි හදවත  දෑවේ
ලොවටම හොරා අමිලවු  සෙනෙහස   පෑවේ
එනිසයි හැ​ම විටදි බැහැදැකුමට        ආවේ
මියුලැස නොයනු පිටගම් නුඹ මගෙ      ජීවේ

තනිකම සිහින සිතුවිලි අතරෙම         පෑහේ
විරහව පොර බඳයි රෑ තුන්යම           පාහේ
සෙනෙහස දෝරෙ විත් නිල් නුවනත    වෑහේ
එය මතු දිවිය ගෙවනට හොඳටම      සෑහේ

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, November 26, 2025

ඔබ මගෙ මා ඔබෙ



ඔබ දුටු මුල් දින අප නෙතු,  හමුවී පැවසූ රහසකි, හරි                නුහුරූ
ලැබු සෙනෙහස මහමෙර ලෙස, දැනුනිය කුළුදුල් හදගැබ, මත   සොඳුරූ
බැඳ රතැඟිලි රන් හුයකින්,  පෝරුව මත ඉඳ පාවඩ, බිම            ඇතිරූ
සිඳ බිඳ සංකා හිනැහෙනු, මියුලැස ඇතිදෝ මට ලොව, තව         කවුරූ
 
දිගු නෙතු දේදුනු පරදන, දෙබැමද එක්කල බැල්මෙහි, ඇත          සිරියක්
සිකිපිල බඳු දිගු වරලස,  පීරා පිට මැදට හෙලා,  දෙන                එළියක්
බඳ නළවා පියවර තැබු, සඳ සිහිවිය සුරපුරයෙහි,  දිව              අඟනක්
ඔබ මගෙ මා ඔබෙ නැත එහි, වෙනසක් ලැබුවෙමි නොඉඳුල්, නව  දිවියක්
 
(අනවුදඬු විරිත ඇසුරෙන්)

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, November 19, 2025

දෝණි 16

 කවි කතාව



පසුගිය කොටසෙන්.................


දාරක සෙනෙහෙ එන හදවත දෙකට       පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට         වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින                 දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි      යලී

16 (අවසන් කොටස)  


දිවියට ලැබුනු සම්පත ඉර වගෙම            සඳ
වැඩිහිටි දෙදෙන සිරි ලක තනි කෙරුණු    සඳ
විකසිත සිහිනයක නිසි පල මුසුවු           තෙද
බබළන අනාවක පැතුමෙන් පිරුණි           හද

දවසක මෙහෙය අහවර කර හිරු        රජිදා
පිවිසිය සිඳු ගැඹර වෙත තම දිවි          පරදා
සෙවනැළි සැඟව යනු පෙර හරසර      අයැදා
තරුපති රජවුණිය ගණදුර සිඳ            බිඳදා



මව පිය ගම නිවස තුල ඇත             තනිවීලා
පැද යයි ඉසුඹු විය දුක තුට              මුසුවීලා
යහ ගුණ සපිරි ගැමි සහයට           පැමිණීලා
යන එන මඟද වපුරයි ගුණ            හිනැහීලා

කවි සාගරයෙ පිහිනුව ඔබ සැමට          තුති
ගුණ'ගුණ සපිරි නෙක පැසසුම් එමට     ඇති
පමණට වදන් මා හදවත තුල         නොමැති
බැවියෙන රකිමි මුතුදම හද පතුලෙ       නිති

ගගනෙහි වළාකුළු සිපගෙන ගිය          පෙරට
අභිනව පුන්චි පවුලේ තතු ඔබ              සැමට
ගෙනෙනට සිතා දිවයුරු දුටු පිණි          ලෙසට
සැඟවෙමි අදට දෙවි රැකවරණයි          ඔබට





   💘      ඉතින් සමුගන්න දෙන්න අවසර ......


  💘   මා විසින් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන ලද "දෝණි" කවි කතාව මෙසේ නිමා කරමි.  මොවුන්  පිටරට ගෙවන දිවියේ රස තොරතුරු ද රැගෙන මතු දිනෙක යලි හමුවෙන බලාපොරොත්තුවක් ද හිත තුළ තැන්පත් වී ඇති සැටියකි.

 
  💘  මගේ කවි කතාව රස විඳිමින් මෙතක් මා හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි. 



 💘 කමෙන්ට්ස්, ලයික් දමමින් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගනිමින් මා දිරිමත් කල ...., 

                    ඔබ සැමට ස්තුතියි හදවතින් ම .  🙏

~~ මම ලියෝනි අමරතුංග ~~

 2025 වසර නොවැම්බර්  මස 19 දින.
කැනඩාවේ සිට. 

~~~~~~



👈 15 කොටසට

👈 මුල සිටම කියවමු ද - 1 කොටසට 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Tuesday, November 11, 2025

දෝණි 15

 කවි කතාව



පසුගිය කොටසෙන්.................


පුබුදා කුසුම් සහසක් හද විල්              තලයේ
සපුරා සියලු පියවර බල                 පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින්          රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින්             හිටියේ

15 කොටස  

ඉවසනු හද කෙලෙස මතු දින  තම       දරුවන්
සමුගෙන යනු ඇතිය බොඳ කරමින     දෙනුවන්
එනමුදු කිසි දිනෙක  අහිතක් හිත         රඳවන්
වෙනතක නොයා පැතුවය රැකවල     තෙරුවන්

සියළුම සිහින ඉටුවීලා දෙන                  සතුට
පියඹන දිනය එළඹිය සයුරෙනි              එපිට
හැදු වැඩු මව පිය ද ගම පාසැල            දැයට
සමුදිය යුතුව ඇත පෙර සැලසුම          ලෙසට



සියොතුනි සැරි සරන ගුවනේ රුවට        රුවේ
දැනුනිද ගත දැවටි සිහිලැල් මිහිර        ලොවේ
විඳිනට සතුට නිම නොවනා මෙ මනු       භවේ
එනු මැන රැගෙන මුදු හසරැල් නොමද    සුවේ

මිණිපිරි තුරුළු කරගෙන සුරඟනක         බඳූ
සියුමැලි වතට බර වී හද සිසිල              සැදූ
වැළපෙන මොහොත ගිගුරුම් දෙන අහස  බදූ
සමුගත යුතුව ඇත පිසිමින කඳුළු            බිදූ

දාරක සෙනෙහෙ එන හදවත දෙකට       පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට         වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින                 දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි      යලී



මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 14 කොටසට

👉 16 කොටසට - අවසන් කොටස.


~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, November 5, 2025

දෝණි 14

  කවි කතාව


පසුගිය කොටසෙන්.................

කොටසකි වත්කමෙන් දැවුනේ අධි        මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු           දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ         හනික
ගුවනට මුසු කලේ හද බැති බර          ලෙසක


14 කොටස  

බරකින් මිදී නිදහස නිසි                විදින්නටයි
සුරතල්  දැරිය සමඟින කල         ගෙවන්නටයි
මුදලින් තිබෙන මදි පාඩුද           සොයන්නටයි
සිතමින් සැරසුනේ සවුදිය              පුරන්නටයි



නෑඹුල් දෝණි ටික ටික බස            හසුරන්නේ
'අම්මා' නොව 'මමී' කියලයි            අමතන්නේ
බෑනගෙ දුවගෙ නව සිතුවිලි            දළුලන්නේ
සීයයි ආච්චිගෙ හදවත                 කකියන්නේ

සියුමැලි දෙපා ඔසවා පිය නඟන               සඳ
නව ආරෙකට තෙපලයි කිරි සිනහ           මැද
'නොදොඩනු අම්මෙ හෙළ බස' දුව අසල    හිඳ
පැනවෙයි අණක් හද තුට හීයකිනි              විද

සිය දහසකිය පැතුමන් හදතුල              විසිරූ
ගුණ නැණ අමා දහරද යන මඟ           ඇතිරූ
මතු දින ලොවක් දිනනට හැකි යස         ඉසුරූ
ගොනු කල දෙමාපිය පසෙකට ගිය          අයුරූ

පුබුදා කුසුම් සහසක් හද විල්               තලයේ
සපුරා සියලු පියවර බල                 පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින්          රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින්             හිටියේ


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 13 කොටසට

👉 15 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, October 31, 2025

දෝණි 13 (ශනිදා දහයට)

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දහබිඳු හෙලා ගොණු කළ වත්කමෙ     කුසුම
මිලකර ගැනුම පහසුය නොමැතිව        සුසුම
එනමුදු මව්පියගෙ ඒකායන                පැතුම
රැකගෙන සැප විඳීමයි දිවි ඇති           තුරුම

13 කොටස  

"දරුවනි කිමද මේවා නැතිකර             ගන්නේ
වටිනව නොවෙද  මතුවට එය         සුරකින්නේ
පරදෙස නොගොස් හැකිනම් මෙහි නවතින්නේ"
සැම විට මව්පියන් ඔවුනට             පවසන්නේ

පවරන ලදුව දේපළ දරුවගෙ               නමට
බැහැනොවැ යලිත් කර පොවනට එම   දෙසට
එනමුදු ඔවුනගේ කඳුළැළි පිරි            නෙතට
වැළපෙනු මිසක විසදුම් කොයිබ ද        දුකට

මෙවැනි වු පින් බිමක් සක්විති ගලෙනි     පෙරා
සෙවුමට හැකිද පිහිනා සාගරය               ඉරා
නෙක ඵල වැලින් යුතු පෝශිත වසර         පුරා
හිනැහෙන කෙත් වතුද දියඇලි කොමළි    දරා



රට දැය නගන්නට ඔවුනට නොමැත      සිතක්
ඉඟිළිල යන්න ඇත ලොකුවට ඕන         කමක්
සිහිනය කෙලෙස හෝ මල්ඵල ගැනෙන හෙටක්
පිලිබඳ තැවි තැවී තුන්සිත විඳින            දුකක්
  
කොටසකි වත්කමෙන් දැවුනේ අධි         මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු            දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ           හනික
ගුවනට මුසු කලේ හද බැති බර           ලෙසක


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 12 කොටසට

👉14 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.