Saturday, November 25, 2023

දෝණි 1 (ශනිදා දහයට)

  කවි කතාව

1 කොටස

 හද  බැති  මිතුරු වැඩිහිටි, බාලයිනෙ  සොඳ
නව කවි කතාවක ඇරඹුම තබමි            අද
දින දින ගෙවී යන ලෝකයෙ අරුම          විඳ
රැදෙනට ඇරයුමයි මේ සෙනෙහසිනි      තෙද

ගහකොළ නිලට දිලෙනා පින්සාර       කෙත
මැදිකර ගලයි ගං කොමළිය පිනන      සිත
නුදුරෙහි ගගන සිප නැළවෙන බඳන   නෙත
පොබකර කඳු වැටිද සැතපෙයි අසල   පෙත


ඉඳිගොඩ නගරයට නුදුරුවු කුඩළු        ගම
ජයගෙන තිබුනි සැම දන හිත මුතුරු     කම
මැදිකර තැනුන නැණ වපුරන සොඳුරු    ඉම
විසු ගුරු යුවල ගැන අටුවා ටිකා           එම


වෙසෙනා නිවස යාබද සිප් නැණ         පියස
ඇමදා මිදුල අළුයම දුරුකර              අලස
වැඳලා බුදුන් පිළිගෙන නොඉඳුල         දවස
නිතිනා සිරිය රඳවයි දෙවොලක         විලස

මතු සම්බන්ධයි......


2 කොටසට  👉

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, November 18, 2023

"දෝණි" (ශනිදා දහයට)

කවි කතාව 
 
 
"දෝණි"

දයාබර යහළු යෙහෙළියනි ...,

ඔවුන් දෙදෙනාම ගුරුවරුන් ලෙස බොහෝම සැප සම්පත් මැද නගයේ පාසල් වල සේවය කරමින් ජීවත් උන අය. ඔය අතර තමයි ඔහුට විදුහල්පති කෙනෙකු හැටියට කුඩා ගම්මානයකට පත්වීමක් ලැබෙන්නේ. අලුත විවාහපත් තරුණ යුවලක් නිසා ඇයත් හිතනවා ඒ පාසලටම මාරුවීමක් අරගෙන ඔහු සමඟම යන්න.  ගමේ ඉඳලා කොළඹ එනවා වගේ නෙමෙයි කොළඹ ඉඳලා ගමට යන්න ලේසියි නේ. ඉතින් හිතූ ලෙසටම අලුත් පාසැල් වාරයේ ඉඳලා දෙදෙනාම ගමේ පාසලට යන්න කටයුතු සූදානම් කර ගත්තා. 
ඔවුන්ගේ වාසස්ථානය වුනේ පාසැල් මායිමේ ම තිබෙන කුඩා නිවසක්. ගුරු නිවාසයක් කිවාට එය විශේෂ පහසුකම් තිබුන තැනක් උනේ නෑ.

ඔවුන් පාසලේ දුවා දරුවන්ට හරිම ආදරෙන් සැලකුවා. නගරේ වගේ නෙමෙයි ගමේ දරුවන්ගෙ වැඩිහිටියන්ගේ  දිළිඳු කම නිසාම ඇතිවන පොඩි පොඩි අඩුපාඩු දුක් ගැනවිලි අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒ ගමේ වැසියො හරිම ගුණ යහපත්. ඒ නිසාම කොතරම් දුක් පීඩා මැද වුනත් එම ගමේ දිගටම සේවය කරන්න ඔවුන් හිතාගත්තා. මේ දෙපලගේ තිබෙන හොඳ කම නිසාම ගමේ අයත් මේ අයට දැක්වුයේ ලොකු ආදරයක් ගෞරවයක් සහ ලෙන්ගතුකමක්.

ජීවිතය හරිම පුදුමාකාරයි...අපේ ජීවිත වල වගේම ඒ අයගෙත් ජීවිත වලත්  නොයෙකුත් හැල හැප්පීම් නොතිබුනාම නොවෙයි. හැම මොහොතකම අපි සිතන පතන දේම ලැබෙන්නෙත් නෑ  නේ.  එය කාටත් පොදු ධර්මතාවක්. ඒත් නොහිතන වෙලාවල් වල නොහිතපු විදිහට ලැබෙන දේවලුත් නැතිවාම නොවෙයි. ඉතින්  ඔයවගේ ලැබීම් සහ නොලැබීම අතර එයාලටත් තම ජිවන ඔරුව පැදගෙන යන්න සිදු වුනා. ඒ තමයි අපේ ජිවිත වල හැටි. 

ඉතින් ඔවුනගේ ජිවිතවලත්,  පාසල පිහිටි ලස්සන  ගම්මානයේත් .. තොරතුරු සමඟ  තවත්  රස තොරතුරු රැගත් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන, මගේ අලුත්ම කවි කතාව වන "දෝණි" රසවිඳීමට ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කරමි.  


මෙය මගේ හෝ මා ඇසුරු කරන හිතමිතුරකු ලබපු අත්දැකීමක් වටා ගෙතුණු කතාවක් නොව මා විසින්ම නිර්මාණය කරන ලද්දක් බව ද,  මෙහි එන නම් ගම් සියල්ල මනස්කල්පිත බව ද කියනු කැමැත්තෙමි. 

සියලුම රස තොරතුරු සමඟින් ගොඩවෙන්නම් ඔබගේ නිවහනට ශනිදා දහයට ...

හද  බැති  මිතුරු වැඩිහිටි, බාලයිනෙ   සොඳ
නව කවි කතාවක ඇරඹුම තබමි             අද
දින දින ගෙවී යන ලෝකයෙ අරුම          විඳ
රැදෙනට ඇරයුමයි මේ සෙනෙහසිනි      තෙද

 ඉතින්.....,  

රැඳී සිටින්න මා සමඟ...
රස විඳින්න මගේ කවි....
පවසන්න ඔබේ අදහස් .....

ස්තුතියි ඔබ සැමට. 

1 කොටසට  👉

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන්. Thanks Google Images.  - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, November 11, 2023

මා හද දිනු ළන්දු ..... (ශනිදා දහයට)

සුන්දර සිනහව තවරා පියවර නැගු පටු               දෙවට
සිත්ලන නෙක විසිතුරු කුසුමන් දිළුණයි පෙර         පිනට
වත්සුනු තවරා නොතිබුන පියකරු සඳ වැනි           වතට
පෙම් බැඳි දින තාමත් මතකයි අද ඊයෙක           ලෙසට

ලතැවුණි සිත රිසි ලෙස පෙම පවසනු බැරි වුනු        පවට

නොලැබුණි පින ලන් වන්නට සුසුමන් පිටවුණි        පෙළට

වියැලුණි සිනහව ගුලිවුණි සෝ ලතැවුල් හද        කොනට
බොඳවුණි දෙනයන සිහිවී ඔබ ගිය බව දුරු            රටට



ගනිනෙමි අතැගිළි හමුවෙන තුරු සෙනෙහස බර  සිරිකත
රැකගෙන යළි පැමිණෙන දින යුවතියකට හිමි      පතිවත
විසිතුරු නගරය මැද නාඳුනනා මොනරුද        ගැවසෙත
සඟවනු මැන බොළඳියෙ නොතලා නිකැළැල් ඔය හදවත

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, November 4, 2023

ඔහු ..... (ශනිදා දහයට)

 පෙර මඟ බලමි (ඇය හැරදා ගිය ඔහු ගේ පාපොච්චාරණය )


හදබැඳි සොඳුරිය
අප ගෙවු දිවිය මිහිරිය 
මිතුරගෙ සොයුරිය 
නිතර හමුවී පෑවෙ ඔමරිය 

හිතද හිරි වැටුණි 
තහනම් පෙමක පැටලුණි 
නුඹව අත හැරුණි 
ඇයගෙ සහයට නොයා බැරිවුණි 

නොසිතනු අහිතක්  
කලෙ මම නුඹට වරදක්  
තැවෙමින සහසක් 
සුසුම් ගිලිහෙයි නොමැත සතුටක් 

කිසි දින වරදක් 
නොකළ ඔබ දිව අඟනක් 
නොහෙලනු කඳුලක්  
කරුවෙ හැමවිට මමයි බොරුවක් 

ගිලිහෙත පැතුමන් 
සිරකර සිතෙහි හැඟුමන් 
ලබමින අවමන් 
පුරන බව දැනගතිමි පෙරුමන් 

අදරැති මියුලස 
නුඹ කුසෙහි මගෙ සෙනෙහස 
පිළිසිඳි අනුහස 
නොදැන සිටියෙම් විඳිමි උදහස 

ඔබහැර ගියමුත් 
තැවෙමි මනසින තවමත් 
සතොසින විඳගත්
එකදු මොහොතක් නොමැත අදටත් 

තුරුලෙහි විසුමට 
මදිය කල පින මිහිපිට 
උපදින බවයට 
නැවත එක්විය හැකිද අපහට...?


පිරිවර ගැවසෙත 
නොමැත තනියට හිතවත 
ඇතිදුක හදමත 
සතපවා ගමි කෙරෙන් මධුවිත 

පියුම් ගී විරිත ඇසුරෙනි )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.