Saturday, September 26, 2026

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා 7 - (ශනිදා දහයට)

හදවතේ ඉතිරි වූ මතක සටහන් 



සුදු ගවුමක් ඇදගෙන පරෙවි රෑනක් වගේ යහළු යෙහෙළියන් එක්ක එක පෙළට වැටිලා එයා ඉස්කෝලේ ගිය හැටි අදටත් චිත්‍රයක් වගේ මැවිලා පේනවා.


එයාට අවුරුදු 16ක් ක් විතර ඇති මගෙ හිතේ 


ඒ වෙනකොට මම හිටියේ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ. කැම්පස් එකේ කොච්චර නම් ගෑනු ළමයි උදේ හවස මට මුණගැසී තිබුණත්, මගේ හිතට මෙතරම් නුහුරු හැඟීමක් ලබාදෙන්න මේ ඇස්වලට මෙච්චරම පුළුවන් වුණේ කොහොමද කියලා මටත් හිතාගන්න බෑ.


ඒ ලස්සන ඇස්, ඉටි රූපයක් වගේ තිබුණ සිරුර... මේ සියල්ලම එකතු වෙලා මාව අතරමං කළා. මගේ හිත මගේ හැඟීම මටත් නොදැනීමයි එයාව හොයාගෙන ඇදුනේ.


එයා කව්ද කොහෙද ඉන්නේ එයාගෙ නම ගම මේ කිසිත් නොදැන හිටියත් ඇය හරියට උදේට පිපිලා සුවඳ හමන පියුමක් වගේමයි. ලස්සන වටකුරු ඇස්, නිල් මැණික් වගේ රෝස තොල් පෙති, හිනාවෙනකොට වලගැසෙන මල් පෙති වගේ සුමුදු කම්මුල්... අදටත් මට පුළුවන් ඇස්දෙක පියාගෙන ඒ රූපේ හිතේ මවාගන්න. ඒ තරමටම මගේ හදවතේ එයා ලැඟුම් ගෙන තිබුණේ අනවසරෙන්මයි.


එයාටත් නොදැනිම මම එයාට ආදරය කරනවා කියලා කාලයක් යද්දී මට හිතුනා. උදේට කැම්පස් යන ගමන් හැමදාම වගේ මම බස් එකෙන් බෙල්ල එළියට දාලා එයාට අතවන්න පටන් ගත්තා. එයා මට අත වැනුවේ නැතත්, ටික දවසක් යද්දී ඒ ඇස් මාව සොයනවා කියලා මටත් දැනිලයි තිබුණේ.




ඇය පාසල් යන වෙලාවට මම උත්සාහ කළේ කොහොමහරි ඒ පාරෙන් යන්න. මගේ බස් එකෙන්  එළියේ නැවතුමේ පේන ඒ මුහුණ මගේ මුළු දවසම ලස්සන කරන්න ප්‍රමාණවත් වුණා. මම ඇයට ආදරය කළා විතරක් නෙවෙයි, මගේ මුළු විශ්වයම එයා වටා කැරකෙන්න පටන් ගත්තා වගේ මට දැනුණා.


ඒත්, මේ අහිංසක හුරුපුරුදු දැක්ම වැඩි කාලයක් එක විදිහටම තිබුණේ නැහැ.


දවසක්දා පුරුදු පරිදි මම බස් එකේ එනකොට ඇය  ඉන්න නැවතුමේ මම දැක්කේ මහා පාලු මූසලකමක්. එයාගේ යාළුවෝ මං දිහා බැලුවේ අමුතුම බැල්මකින්. මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා. එදා බස් එකේ මම මුළු පාරම හොඳින්ම බලාගෙන ගියත්, මට ඇයව දකින්න ලැබුණේ නැහැ.


ඊළඟ දවස්වලත් එස්.එස්.සී. පාරේ ඒ බස් නැවතුම හිස් වෙලා තිබුණේ කවදාවත් නොහිතපු විදිහට. දවසක්, දෙකක් නෙවෙයි, සති ගණනාවක්ම ඇය ඒ මාවතේ පෙනෙන්නවත් හිටියේ නැහැ. මගේ හිතට ලොකු බියක්, වියවුලක් වගේම ගැටළුවක් මතු වුණා. "එයාට මොකක් හරි වුණාද? නැත්නම් වෙනත් පාසලකට මාරු වෙලා ගියාද? එහෙමත් නැතිනම්... වෙන පළාතක පදිංචියටවත් ගියාද? වෙන රටකටවත්.....?" මගේ සිත නිරන්තරයෙන්ම ප්‍රශ්න කළා.


අපේ ආදරය කවදාවත් වචනවලින් ප්‍රකාශ කරගෙන තිබුණේ නැහැ. ඒත්, ඒ දෙනෙත් කතා කරගත්තු භාෂාව අද එකපාරටම නැතිවී ගියා වගේ මට දැනුණා. මට ඇයව මුණගැහෙන්න ඕන වුණා, ඇයි මෙහෙම වුණේ කියලා අහන්න ඕන වුණා. ඒත් මට ඒකට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ.



කාලය කොතරම් වේගයෙන් ගලා ගියත්, අදටත් මම ඒ පාර දිගේ යද්දී මට හිතෙන්නේ ඒ පුංචි කෙල්ල අයෙමත් ඒ පරෙවි රෑන මැද්දෙන් හිනාවෙගෙනම මං එනකන් බලාගෙන ඉඳියි කියලයි. ඇය මාව අතහැරලා ගියත්, මගේ හදවතේ රජකම් කළ ඒ අහිංසක කුමාරියගේ මතකයන් තාමත් මගේ නෙතඟ කඳුළක් රඳවන තරමටම ජීවමානයි.


කොතන කොහෙද ඈ දැන්... මගේ හදවතේ තවමත් අඩුවක් නොමැතිව රැඳී සිටින්නේ ඇයමයි!


ඇය ගැන සිහින මවමින් සඳ දිහා බලාගෙන සිටියදී මගේ හදවතේ හැඟීම් එකින් එක කොලයක සනිටුහන් වුනේ මෙහෙමයි. 


කැකුළු පිපෙන යාමේ / මා හදේ හී ලැගුම්              ලත්

සුමුදු රුවැති දේවී / පුන් සඳේ රැස් කැලුම්              ගත්

ගියද සැඟව නාරී / නෙත් සරින් සිත් දිනූ                මුත්

කොතන කොහෙද ඈ දැන් / සෝ දුකින් නෙත් තෙමී යත්

(අතිශක්වරී ඡන්දස - මාලනී විරිත ඇසුරෙන්)



~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~


~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 

No comments:

Post a Comment