Friday, March 25, 2022

අලුත ගෙනා මනමාලි 11

 කවි කතාව

 
 

පසුගිය කොටසෙන්.................


සිදුවුනු සියළු දේ නොම සඟවල                ඇයට
පැවසුවෙ සිතට සුව සහනය ගනු             ලෙසට
මදහස සමඟ සඟවා සිතුවිලි                    කවට
පියවර තැබුවෙ මම මුළුතැන් ගෙය          දෙසට


11 කොටස  

අම්මෝ.. වෙන්නෙ ඇයි මේ වගෙ වැඩ   මෙමට
අල්ලපු ගෙදර හොර පූසිය පැන            ගෙයට
ඉස්සෝ ගිළියි හොරැහින  බලමින            අවට
දුන් පාරටයි කැඩුනේ හැඳි මිට              දෙකට

දුවනා කලට ඌ ගුටියත් කා                 ගෙනම
හැරුනේ තව එකක් දෙන්නයි           තරහටම
එසැනේ සිහිනෙකින් වත් නොසිතුව       ලෙසම
කැරකී බිමට වැටුනේ ලිස්සල               මෙමම

කිසිවෙකු  දුටුව දෝ කියලා හතර             වට
දැනුනිය පුදුම ලැජ්ජාවක්  අනේ               මට
පිරිමැද තුනටියත් දැනි වේදනා                පිට
  හනිකට නැගිට යලි උයනා පිණිස             බට  

අමුතුම රළු වු  කර සුවඳකි               මතුවූවේ
එසැනින ලිපේ තැබු බත් එක             සිහිවූවේ
කැළබිළි සිතිනි නෑඹිලියට                 අතපෑවේ
දැවෙමින ඇඟිලි එය බිමටයි             පතබෑවේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, March 18, 2022

අලුත ගෙනා මනමාලි 10

 කවි කතාව
 

 

පසුගිය කොටසෙන්.................

හනිකට ගිහින් කාමරයෙහි           සැඟවීලා
 ඇමතුම අරන් හොඳ හැටියට        හැඩදාලා  
සිදුවුන හදිය කොහොමෙන් හරි     ගලපාලා
පැවසුවෙ රහට ලුණු ඇඹුල ද         තවදාලා
 


10 කොටස  

"යවිලි පිහිලි කොයි වැඩටත් දෙඅත                හුරූ
කියමින නොයෙක බේගල් ඇදබෑම                  මරූ
ගියවිට උයන්නට බඩු දී දුටුවෙ                      තරූ
මගෙ සිත දැවෙයි ඔබෙ සහයක් ලැබෙන        තුරූ
"

"නොකරම හිටිය නම් පොඩි බොරුවක්       එහෙම
වයසට යනව නෙව සදහට ගේ                   තුළම 
සිහිකර බලමු දැන් කළහැකි දේ              හොඳම
"
පැවසුව වදන් පිනවිය මගෙ  තුන්                 සිතම

කෙරුවත් බොරුව ආදර මව් පියන්             හොඳයි
නිතියෙන් ම‍ගේ සහයට හඬ අවදි                  කරයි
කොහොමින් කොහොම හරි නිසි විසදුමක්  යොදයි
මෙලසින් හැඟෙද්දී සිත බඩ පිනුම්                 ගසයි

සිදුවුනු සියළු දේ නොම සඟවල                    ඇයට
පැවසුවෙ සිතට සුව සහනය ගනු                  ලෙසට
මදහස සමඟ සඟවා සිතුවිලි                        කවට
පියවර තැබුවෙ මම මුළුතැන් ගෙය              දෙසට

 

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Friday, March 11, 2022

අලුත ගෙනා මනමාලි 9

 


පසුගිය කොටසෙන්.................

මගෙ කල හොඳය නැන්දම්මා ටවුමෙ     ගියා
හනිකට ඇඳුනි ලිසි අක්කා ලෙසට           නයා
පිහිදල පොලොව මල් අහුලල පසෙක      තියා
බැලුවනෙ රවල තව මොනවද රහසෙ     කියා 



9 කොටස  

"සුදු නෝනා කොහෙද මේ දුවගෙන යන්නේ"
 ඇසුවිට දෙපය පණ නැති වූවා        වැන්නේ
"දුරකතනයේ හඬටයි ගන්නට      පැන්නේ "
කැළඹුණ සිතින එහෙමයි පිළිතුරු    දුන්නේ  
 
ලිසියද එනව වාගේ දෙන්නට             ගේම
සිතටද නුහුරු වදයකි ඇගෙ          හැසිරීම
පවසමි කෙලෙස අම්මා හට          හැමදේම
ඉඳහිට පහව යනු තේරෙයි              ඉවසීම

එනමුදු  නොවළහා මව වෙත කිවිය    යුතු
      තනිවම දුකට වැටි මා පිලිබඳව          තතු       
අතහැර දමා පුහු මානය කෙනෙකු       සතු
සිතනට කාලයයි යුග දිවි ගැනම         මතු

හනිකට ගිහින් කාමරයෙහි           සැඟවීලා
ඇමතුම අරන් හොඳ හැටියට       හැඩදාලා  
සිදුවුන හදිය කොහොමෙන් හරි    ගලපාලා
පැවසුවෙ රහට ලුණු ඇඹුල ද        තවදාලා

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, March 4, 2022

අලුත ගෙනා මනමාලි 8

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................

වම්බටු කපා ඒ ටික වතුරට                 දැමුවා
ඉස්සොද නැටි කඩා කරවිල පෙති        කැපුවා
පොල් ටික ගාල හාලුත් හනිකට          ගැරුවා
පැත්තක තියා  මොනවා කරමිද           සිතුවා



8 කොටස  

දමලා සහල් ටික කට ලොකු          හැලියකට
පුරවා වතුර නෑඹිලියට ගෙන             හොඳට
තියලා ලිපෙන් කහ, ලුණු හලලම           එමට
අවුලා දැමුවෙ නිවසෙදි දැක හුරු          කමට 

කහ ලුණු දැමූ පමණින් බත රස             වෙයිද
පපඩම මොකට වැඩි තෙල අගුණයි     නොවෙද
මොනවද මෝජු ඒවා පෙර දැක              තිබෙද
කිසිවකු නොමැත සහයට මා හට            සුහද

ලතවන කලෙහි සිත මහ අවුලක            හිරවී
හදවත සතුටෙ කිමිඳුනි අම්මව             සිහිවී
ගෙතුළට පය තැබුවෙ දුරකතනෙට         බරවී
විසිතුරු බඳුන පෙරළුනෙ යන මඟ         හමුවී

මගෙ කල හොඳය නැන්දම්මා ටවුමෙ     ගියා
හනිකට ඇඳුනි ලිසි අක්කා ලෙසට           නයා
පිහිදල පොලොව මල් අහුලල පසෙක      තියා
බැලුවනෙ රවල තව මොනවද රහසෙ     කියා



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.