Saturday, August 27, 2022

පැතුම

 

 පැතුම

සීත මීදුම් සුළඟ අතරින් සෙමින් සවනට       කොඳුරලා
කීව රස පෙම් කතා එසඳෙහි තාම හදවතෙ    සිරවෙලා
රෑක සිහිනෙන් පාවෙලා විත් යහන අද්දර       සැතපිලා
 ආස හිතෙනව යලි ගයන්නට නොගැයු ගීතය  ගුලිවෙලා

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, August 19, 2022

සෙනෙහස

 සෙනෙහස

ලියූ රස වදන් දිවියට              පැතුසේම
ගැයූ සැටි මැවෙයි ලොවටම      රහසේම
ලයේ සෝ තැවුල් හිරු දුටු       පිණි සේම
මැකී ගියේ සෙනෙහස ලැබු        දවසේම
 
මැවූ සිහින වැල් හැම මොහොතක  නෑරා
  පියාසර කරයි නුබ මේකුළු               පීරා  
බලා ඉදිමි කිසිවෙකු දෙන තුරු      තෝරා
   හදේ සෙනෙහෙ දළුලන්නේ කිම      මෝරා  

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, August 12, 2022

මියැදුනු සෙනෙහස


මියැදුනු සෙනෙහස

 
මෙතෙක් කල් දුර ගෙවා ආවෙ ඔය අත        පතා
කොතෙක් තව දරන්නද අතීතයෙ කියු        කතා
ඇතෙක් බර සුසුම් පා කෙරුවෙ ඉවසමි        සිතා
එතෙක් නිහඬව සිටිනු කෙසේ කවි ගොත ගොතා

හිතෙත් මහ මෙර උසට පැතුම් ඇත රස      පතා
ලතෙත් හදවත රිදුම් දෙයි පහස ගැන         සිතා
නෙතෙත් කඳුලැලි ලිහී ගතු කියන කල        ඉතා
ගතෙත් එඩි සිඳී මියැදුනා දළුලන                ලතා

( රවුළු ඡන්දස -  වියන් විරිත ඇසුරෙන්  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, August 5, 2022

ආවර්ජනා

 මිහිරි වේදනා


සසර හුරු පුරුදු ලෙස ඔබේ රැව හද           බැඳන්
පැමිණි මඟ දෙස බලා විඳිමි තුට දුර             ඉඳන්
යලිදු සිහි වන විටදි එදා කියු රස                 වදන්
කෙලෙස ඉවසමිද මම හඬමි කඳුළැලි           රදන්

තනිව ගෙවු මොහොත කල්පයකි සෙනෙහස  රදන්
ගියෙද දුර ඈත ලඟ බව දැනුනි සුව              සදන්
පිරුනු තරු අහස යට හිඳිමි ඔය රුව           බදන්
කෙලෙස පවසමි සිතැඟි නොමැත පමණට   වදන්

( රවුළු ඡන්දස -  වියන් විරිත ඇසුරෙන්  ) 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, July 29, 2022

බිඳුණු පෙම

 

                                          බිඳුණු පෙම

        රුවින්  පිබිඳුන නුරා කුසුමකි කලතමින හද    පතුල      සිදුරූ  
        
ඉතින් කෙලෙසක හදා ගමි සිත බිඳ ලමින නුඹ තැනුව    පවුරූ
        ගිලන් සිතුවිලි දරා තෙරපෙන තනි රකින ඉකි කැලතු      සයුරූ
        දුකින් වැලපෙන නෙතින් සමුගෙන  මිහිකතට ගතු කියන අයුරූ 


( මදු ඡන්දස -  පුණුඅතිපුණු විරිත ඇසුරෙන්  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
අටවිසි මතන් ලා
බඳ පුණුඅතිපුණු නම්
දනු තුදුස් සඳසෙහි
විරිත් නිදසුන් සැකෙවින්.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, July 22, 2022

පෙමක මහිම

 


පෙමක මහිම 

හිරු සදිසි නුබ           සරසනා
හිමි නිබඳ දිවි             පුබුදනා
තුටු කඳුළු නෙතු      පොපියනා  
මුතු අහුරු මෙනි      දිළිසෙනා  

ගුණ සුවඳ හද          පතුරනා
නැත කෙනෙකු නුඹ    සමවනා
පෙර සසරෙ සිට      ගෙනඑනා
  හුරු පුරුදු බව       වැටහෙනා   

රස මුසුව දිවි          කලතනා
ලැබු පිනකි ඔබ         හිමිවුනා
මතු සසරෙ වුව        හමුවනා
  සුබ පැතුම හද      තෙරපෙනා  

( උතු චන්දාස - සුරමත්වැල​ විරිත  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~

එලු සදස් ලකුණ විරිත හඳුන්වා ඇති ආකාරය
සමමතෙයට වසම්
ලකුණු දුට සුරමත්වැල

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, July 15, 2022

ඇසුනිද රහස

රහස ඇසුනිද මගෙ හිමි සඳට

 


ඇසල සඳට සුමට
බිඳුනි ගණ අඳුර අවට
පැවසු සෙනෙහෙ දවට
රහස ඇසුනිද මගෙ හිමි සඳට

( මහපියුම් විරිත අසුරෙන් )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, July 8, 2022

සඳට පෙම් බැඳ ..

 


සඳට පෙම් බැඳ ..


උපුල් නුවන් විදා මුවේ සිනා නගා සුරපුරෙනි          බැස
 සුපෙම් හැඟුම් මවා සෙනේ පතා හිදී සුරලියක      වෙස  
රුවින් රසින් නුරා පෙරා දොවා දිලේ මලට පිණි      ඉස  
බලන් අහස් තලේ වෙලී සුවේ දෙනා සොඳුරු සඳ    දෙස

එදා මෙදා තුරා දැරූ සුවේ සැදූ සිහිලැල්              රහස
  සදා රැඳේ හදේ පිදූ සෙනේහයේ හිරිමල්               පහස  
දියේ පිපී දිලේ නුරා සිනා සලා තඹරුන්                පලස
වෙලී ඉමූ භවේ පුරා අපේ වෙලා විඳිමින්           මෙලෙස

එබේ ගුවන් ගැබින් දුහුල් වලා ඉරා සුවසේ            නිදන
පසේ ඉදන් රඟත් තුටින් පිපී රිදී තරුසේ              රුවින
මුදා සොවින් තෙපුල් දෙමින් මවා හදේ සෙනෙහේ  පහන
ඔයා සෙමින් වසන් වෙමින් බිඳී මගේ සයනේ         සිහින
( මී ඡන්දසට අයත්  " පමදා විරිත " ඇසුරෙන් )


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~


එලු සදස් ලකුණ විරිත හඳුන්වා ඇති ආකාරය

ද ගණ ගුරින ද ගණ
ගුරින් ද ගණ ගුරුනෙන්
සත් මතෙකින් එළි සම
විසිපස්නි පමදා නම්


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, July 1, 2022

මගේ රන්කඳ

 

රන් කඳ මාගේ

කෝමළ රන් කඳ  මාගේ
නාඹර බැල්මකි     පෑවේ
මා ළය චන්චල      වූයේ
රෑ දුටු සීනෙක      වාගේ

විල් තෙර ලස්සන   වූවේ
නිල්මිණි කැල්මට   ඈගේ
රන් පැහැ අස්වනු    පීදේ
බක් නැකතින් ලැබ  ජීවේ

කැන්දන යන්නට   ඕනේ
  පැල්පත  දෙන්නට සෑහේ  
හිත්තුල දිස්වෙන   ආලේ
පෙන්වමු මල්බර   කාලේ

( අනුෂ්ටුප් ඡන්දස ට අයත් චිත්‍රපදා විරිත ඇසුරෙන් )

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~

 

මෙය සිලෝ විරිතකි.
පාදයක් "බ" ගණ දෙකක් සහ පාදාන්තය ගුරු දෙකකි (වර්ණ 8කි )
මෙයට එළි සමයක් අවස්‍ය නොවේ.


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Friday, June 24, 2022

අලුත ගෙනා මනමාලි 24


  කවි කතාව

 

 

පසුගිය කොටසෙන්.................



 ඉඳුනිල මගේ යහ ගතිගුණ පිරුණ         ඉතා
 කිසිදින කෙනෙකු ගෙන් නපුරක අයුතු    කතා
අහගනු නොදී නිවසෙහි රන් පහන        සිතා
රැකගමි ඔවා දෙමි දියුණුවෙ අසිරි        පතා

 

24 කොටස
(අවසාන කොටස)

මගෙ දිවි සයුරෙ දින මෙලෙසයි ගත  කෙරුනේ
  මඟ දිග සතුටෙ, ශෝකයෙ රළ විලි      නැගුනේ  
  සැමටම ඔවදනක් දෙනු පහපති           හැඟුනේ  
අලසව කල් නොමර දිවි ජය ගනු        සොඳිනේ

රසවත් බතක් හොද්දක් උයලා               කන්න
දැනුමක් නැතිව රෙදි පිළි සකසා              ලන්න
  දරුවන් සැවොම මේ ටික වටහා              ගන්න  
ගියහොත් සරණ අසරණ වෙනවා          ඔන්න

  අඩුවක් නොකර දෑතේ වැඩ               හුරුවන්න  
බොරුවක් පෙරටු කොට සරණෙක   නොමයන්න
තනුවක් වෙමින දිවි මංසල                ජයගන්න 
     පහනක් විලස ආලෝකය                   පතුරන්න     

 මගෙ හිත මිතුරු සැම සමවන            මිණිසේම  
රැකදෙනු මැනවි ලොව පාලන           දෙවියෝම
නැවතද දිනෙක හමුවන්නට                 පතලාම
      සමුගමි අදට අත් එක්කර                    වැදලාම 🙏


නිමි.


💘      ඉතින් සමුගන්න දෙන්න අවසර ......
 

💘   මා විසින් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන ලද " අලුත ගෙනා මනමාලි " කවි කතාව මෙසේ නිමා කරමි. 
 
 
💘    මගේ කවි කතාව රස විඳිමින් මෙතක් මා හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි. 


 
💘    කමෙන්ට්ස්, ලයික් දමමින් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගනිමින් මා දිරිමත් කල ඔබ සැමටම ස්තූතියි. 


 
💘 මෙම කතාවේ අඩුපාඩු පෙන්වමින්, මගේ දිවි පුරාවට මා රැකගනිමින් හා මෙවැනි නිර්මාණ කිරීමට අත්වැලක් වෙමින් මට දිරියක් වන මගේ ආදර සැමියා වන අසජ අමරතුංග ටත් මගේ අවංක ස්තුතිය මම පිරිනමමි. 


 
💘 ඔබ සැමට ස්තුතියි හදවතින් ම .

~~ මම ලියෝනි අමරතුංග ~~
 2022 වසර ජූනි මස 24 දින.
කැනඩාවේ සිට. 
 

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, June 17, 2022

අලුත ගෙනා මනමාලි 23


  කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................


 ගෙවුනද යුග දිවිය හැල හැප්පිලි     මැද්දේ
නිම කල නොහැකි මිහිරකි තුන් සිත ලද්දේ
නැත ඉවසුමක් තෙරපෙන සිතිවිලි   මැද්දේ
මතු දින අපේ නිවහනෙ තොටිලක්   පැද්දේ



23 කොටස   

 

මවපිය යුවලගේ සිතුවිලි හොඳ             අතට
හැරෙමින තියෙයි එය වෙයි දිවියෙහි     සතුට
බිළිදිය කෙරෙහි සෙනෙහස මහමෙර     උසට
පවුලම එකළු විය ලැබ සැම දෙවි          පිහිට

මෙතුවක් දිවි ඔරුව පැදගිය නමුදු        ඔහේ
එළියක් ලැබ දියණි දොඩනා සිඟිති       බහේ
අරුතක් දෙනු රුචිව පිපි පෙම් කුසුම     ඉහේ
වෙනසක් විය මගේ සිතිවිලි පහුණු     දොහේ

බිලිඳිය නිදයි තොටිලයෙ කිරි සිනහ       මැද
සුරසඳු ගීත මුමුණයි ඉහ කොනෙහි          ඉද
හනිකට නළල සිඹ උයනා ගෙයට           වැද
පිළියෙල කරමි ම'අතින් තුන් වේල           අද

ඉඳුනිල මගේ යහ ගතිගුණ පිරුණ         ඉතා
කිසිදින කෙනෙකු ගෙන් නපුරක අයුතු  කතා
අහගනු නොදී නිවසෙහි රන් පහන        සිතා
රැකගමි ඔවා දෙමි දියුණුවෙ අසිරි        පතා 



මතු සම්බන්ධයි...... 


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, June 10, 2022

අලුත ගෙනා මනමාලි 22

  කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



 නැන්දගෙ කපටි අරමුණු ඇත        ඉෂ්ටවෙලා
ඉන්නා තැනත් ඇත යමෙකුට        සින්නවෙලා
සන්සුන් සිතින් නිවසින් පිට         වෙන්නවෙලා
දොස් නගනුයේ කිම අපි දැන්        නෑයොවෙලා

 


22 කොටස  

දිවිගෙවමින උඩඟු උදරම්            ලීලාවෙන්
මහ මඟ වැටී ඇත නරකම        වේලාවෙන්
යනමුදු පයින් බස නම් ඇත        දෝලාවෙන්
ලෙසටය හැඟුනෙ ඇගෙ රළු බස්  මාලාවෙන්

සැමියද අපේ ගෙදරයි දැන්          හැමදාම
ලිසියට යන්න විය ඒ ගෙය           හැරදාම
වැඩිහිටි දෙදෙන අසරණ යැයි      සිතලාම
දෙමි සහයෝගෙ තුටුවම මට      හැකිසේම

ලැබු ආදරය සොඳුරුව දින දින        ලියලයි
හද බිත දෙපළු කර මුදු හැඟුමන්    පිබිදෙයි
සිනහව මුව පුරා දිළි නිවසට          සිරියයි
අප සතුටෙන් නිසා වැඩිහිටියොද    නිහඬයි 

ගෙවුනද යුග දිවිය හැල හැප්පිලි     මැද්දේ
නිම කල නොහැකි මිහිරකි තුන් සිත ලද්දේ
නැත ඉවසුමක් තෙරපෙන සිතිවිලි   මැද්දේ
මතු දින අපේ නිවහනෙ තොටිලක්   පැද්දේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

Friday, June 3, 2022

අලුත ගෙනා මනමාලි 21

  කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



 මෙම බස අසා නැන්දත් නැත පසු        බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය           සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක           පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි          කැස්සේ


21 කොටස  

"උඹගේ දුවත් වැඩ කෙරුමට හරි       හපනයි
කපුවා කියුවෙ එහෙමයි අපිටත්         ලැජ්ජයි
උයලා තියන්නට කීවේ එක                දවසයි
වනසා ගියේ කුස්සිය සිටි පැය            ටිකටයි
"

දෙදෙනම එක්ව උණුසුම් ලෙස බැන      වැදිලා
ගමටම ඇසෙන්නට නින්දා ඇති            කරලා
හිමිනම ගමේ හනිකට එතනට             වැඩලා  
අනුශාසනා කෙරුවේ දුර දිග                 බලලා

ඇගෙ යටි සිතේ තිබු ඒකායන              පැතුම
ඉටුවිය ලැබුණි පුතුහට දේපොළ     බොහොම
තැවතිය නොහැක මුදනා ලෙස දුක       සුසුම
පිටකළ යුතුම විය දෙදෙනම ලෙස        නියම

නැන්දගෙ කපටි අරමුණු ඇත        ඉෂ්ටවෙලා
ඉන්නා තැනත් ඇත යමෙකුට        සින්නවෙලා
සන්සුන් සිතින් නිවසින් පිට         වෙන්නවෙලා
දොස් නගනුයේ කිම අපි දැන්        නෑයොවෙලා



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

Friday, May 27, 2022

අලුත ගෙනා මනමාලි 20

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා


20 කොටස  

රැකියා නොමැත කල ගෙවලා මහ         මඟට
කරලා තියෙන්නේ බොරුවකි අප           සැමට
රිදවා සිතද හඬලා ඇති පල                  කුමට
මෙමගේ අතෙත් තිබු අඩුපාඩුද               එමට

මෙය දැනගත් පසුව උරණවු මගෙ         අම්මා
හනිකට සොයා දුව ගියෙ යස         නැන්දම්මා
දෙදෙනම අතර වූ වාදය                උණුසුම්මා
සිටිනට උනේ අපි දෙදෙනට  ගෙන          බුම්මා

"යන්නේ කොහොම කොම්පැණියක වැඩට තියා
දන්නේ අද නෙ පාසලකට නොගිය            කියා 
කිව්වේ කොහොම කොලුවගෙ ඇති ගුණය දයා
ගම්මුන් කිව්වෙ උබලට නැහැ ලැජ්ජ        බියා
"

මෙම බස අසා නැන්දත් නැත පසු        බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය           සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක           පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි          කැස්සේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

Friday, May 20, 2022

අලුත ගෙනා මනමාලි 19

 

 කවි කතාව


පසුගිය කොටසෙන්.................



දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ       වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත      අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය       මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි        නගේ


19 කොටස  

"ගෙදරට පිරිමි දෑතක ඇති අඩුව        වසා
වතුපිටි නිසි අයුරු රැකගත යුතුවු       නිසා
මතු පරපුරට වසනට හදවතිනි       තොසා
දියුණුව ලබා ගෙනයමු බත සතර      දෙසා
"

සැමියගෙ සිතැඟි කිසිවිට පිළිගත නොහෙන
පිළිතුර නිසා මව තුළ කෝපය         නැගින
සැමගෙම නෙතඟ රැඳි කලබල බව   හැදින
මුනිවත රැකිමි මම, එය යහපති       සිතින

සැනෙකින අපේ අම්මා තොරතුරු   සොයලා
බැලුවනෙ මොකද සැමියා ගෙදරම    කියලා
කපුවද අප සැමට යස බොරුවක්      කරලා
ඇති බව වැටහුනා මා උගසට           තියලා

             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.