Wednesday, September 23, 2020

පෙර මඟ බලා සිටිමි

 

පෙර මඟ බලා සිටිමි. 
 
සෙනෙහස නිසා රැඳුනේ නුඹ              පහසේම
මුහු වී ගියේ හදවත් රන්                    රසසේම
හැර ගිය ඔයා ඒවිද හොර                  රහසේම
එන මඟ බලා සිටියා මා                   පෙරසේම


හද පතුලෙන්ම පුබුදා නුපුරුදු                හැඟුම 
පියඹා ගොසිනි නැත පැතුවේ නම්          එහෙම
කෙලෙසක විඳිමි දැනෙනා පාලුව          මෙහෙම
නෙතු බොඳ කෙරේ තුන්සිත වාවනු    කොහොම

 

~ ~ ලියෝනි අමරතුංග ~ ~ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Thursday, September 10, 2020

එය මෙසේ සිදුවුණි

 


පිවිතුරු මල් වලට
විසිතුරු පාට මුහු  කොට
හැඩ දමල  කදිමට
මියුරු තනුවට සැලෙයි සුළඟට

බඹරුන් රොන් බිඳට
ලොබ වී ඇදෙයි හනිකට
පරවු කල අකලට
වහා පියඹයි තවත් මලකට

සෙනෙහස බිඳුන දින  
නිලුපුල් නුවන් යුග කොන 
උණු කඳුළු මතු වන 
ගතු කියයි මිහිකතට, සිඹිමින

ලොව සොභා දහමට    
නතු වී තිබෙයි සැමවිට
දිවිය ජය  ලැබුමට  
වෙහෙස වනු මැන නොවී පසුබට

( මහ පියුම් ගී විරිත)
~ ලියෝනි අමරතුංග ~

Tuesday, September 8, 2020

හිත තුළ තෙරෙපෙයි රහසක් ......

 හිත තුළ තෙරෙපෙයි රහසක් ......

නිදි නැති රෑ තුන්යම නෙතු බොඳ කර දුක    වින්දා
යලි හෙට දිනයෙත් හමුවී දොඩමළු වෙන     හින්දා
හිත තුළ තෙරපෙයි රහසක් කිවයුතු දැයි      මන්දා
හිරු පිබිදෙන උදයේ දුටු රුව මා මන           බැන්දා

~ ~ ලියෝනි අමරතුංග ~ ~ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.