Saturday, August 27, 2022

පැතුම

 


 පැතුම

සීත මීදුම් සුළඟ අතරින් සෙමින් සවනට       කොඳුරලා
කීව රස පෙම් කතා එසඳෙහි තාම හදවතෙ    සිරවෙලා
රෑක සිහිනෙන් පාවෙලා විත් යහන අද්දර       සැතපිලා
 ආස හිතෙනව යලි ගයන්නට නොගැයු ගීතය  ගුලිවෙලා


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, August 19, 2022

සෙනෙහස

 සෙනෙහස

ලියූ රස වදන් දිවියට              පැතුසේම
ගැයූ සැටි මැවෙයි ලොවටම      රහසේම
ලයේ සෝ තැවුල් හිරු දුටු       පිණි සේම
මැකී ගියේ සෙනෙහස ලැබු        දවසේම
 
මැවූ සිහින වැල් හැම මොහොතක  නෑරා
  පියාසර කරයි නුබ මේකුළු               පීරා  
බලා ඉදිමි කිසිවෙකු දෙන තුරු      තෝරා
   හදේ සෙනෙහෙ දළුලන්නේ කිම      මෝරා  

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Friday, August 12, 2022

මියැදුනු සෙනෙහස


 

මියැදුනු සෙනෙහස


මෙතෙක් කල් දුර ගෙවා ආවෙ ඔය අත        පතා
කොතෙක් තව දරන්නද අතීතයෙ කියු        කතා
ඇතෙක් බර සුසුම් පා කෙරුවෙ ඉවසමි        සිතා
එතෙක් නිහඬව සිටිනු කෙසේ කවි ගොත ගොතා

හිතෙත් මහ මෙර උසට පැතුම් ඇත රස      පතා
ලතෙත් හදවත රිදුම් දෙයි පහස ගැන         සිතා
නෙතෙත් කඳුලැලි ලිහී ගතු කියන කල        ඉතා
ගතෙත් එඩි සිඳී මියැදුනා දළුලන                ලතා


( රවුළු ඡන්දස -  වියන් විරිත ඇසුරෙන්  )

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~ 

 

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..


විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



Friday, August 5, 2022

ආවර්ජනා

 මිහිරි වේදනා




සසර හුරු පුරුදු ලෙස ඔබේ රැව හද           බැඳන්
පැමිණි මඟ දෙස බලා විඳිමි තුට දුර             ඉඳන්
යලිදු සිහි වන විටදි එදා කියු රස                 වදන්
කෙලෙස ඉවසමිද මම හඬමි කඳුළැලි           රදන්

තනිව ගෙවු මොහොත කල්පයකි සෙනෙහස  රදන්
ගියෙද දුර ඈත ලඟ බව දැනුනි සුව              සදන්
පිරුනු තරු අහස යට හිඳිමි ඔය රුව           බදන්
කෙලෙස පවසමි සිතැඟි නොමැත පමණට   වදන්

 

( රවුළු ඡන්දස -  වියන් විරිත ඇසුරෙන්  )

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~ 

 

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..


විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, July 29, 2022

බිඳුණු පෙම

 


බිඳුණු පෙම 


රුවින්  පිබිඳුන නුරා කුසුමකි කලතමින හද පතුල           සිදුරූ 
ඉතින් කෙලෙසක හදා ගමි සිත බිඳ ලමින නුඹ තැනුව       පවුරූ 
ගිලන් සි​තුවිලි දරා තෙරපෙන තනි රකින ඉකි කැලතු       සයුරූ 
දුකින් වැලපෙන නෙතින් සමුගෙන මිහිකතට ගතු කියන    අයුරූ

 

( මදු ඡන්දස -  පුණුඅතිපුණු විරිත ඇසුරෙන්  )


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..


අටවිසි මතන් ලා
බඳ පුණුඅතිපුණු නම්
දනු තුදුස් සඳසෙහි
විරිත් නිදසුන් සැකෙවින්.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Friday, July 22, 2022

පෙමක මහිම

 


 

පෙමක මහිම 

හිරු සදිසි නුබ           සරසනා
හිමි නිබඳ දිවි             පුබුදනා
තුටු කඳුළු නෙතු      පොපියනා  
මුතු අහුරු මෙනි      දිළිසෙනා  

ගුණ සුවඳ හද          පතුරනා
නැත කෙනෙකු නුඹ    සමවනා
පෙර සසරෙ සිට      ගෙනඑනා
  හුරු පුරුදු බව       වැටහෙනා   

රස මුසුව දිවි          කලතනා
ලැබු පිනකි ඔබ         හිමිවුනා
මතු සසරෙ වුව        හමුවනා
  සුබ පැතුම හද      තෙරපෙනා  

( උතු චන්දාස - සුරමත්වැල​ විරිත  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~


එලු සදස් ලකුණ විරිත හඳුන්වා ඇති ආකාරය

සමමතෙයට වසම්
ලකුණු දුට සුරමත්වැල


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, July 15, 2022

ඇසුනිද රහස

රහස ඇසුනිද මගෙ හිමි සඳට

 


ඇසල සඳට සුමට
බිඳුනි ගණ අඳුර අවට
පැවසු සෙනෙහෙ දවට
රහස ඇසුනිද මගෙ හිමි සඳට

( මහපියුම් විරිත අසුරෙන් )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.