Saturday, October 17, 2026

කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන 1 - ( ශනිදා දහයට)

- නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -

 1  කොටස 

දළුපොත නමිනි හෙළ දෙරණට සිරි      මවපු

ඵලබර ගමකි සරු කෙත් වතු මැදි       කරපු

තම දරු පැටව් හා නිදුකින් දිවි           ගෙවපු

පවුලකි වැජඹුණේ සෙනහස නිති          විඳපු

පැසසුම් ලබා සිප් නැණයෙන් ලොව       දින්න

කුසුමන් ලෙසට එක ඉත්තට බර            දුන්න

දුටුවන් සතුටු වන යහගුණ නිති            දන්න

දරුවන් අඹරෙ සුදිලෙන රන් තරු        වැන්න

එක එක දරුව තම කල වයසද           සපිරු

හෙළ කුල සිරිත මත බැඳ ආදර           පවුරු

තනනට කැදැලි සුවඳැති කුසුමෙන       ඇතිරු

ඉඟිළල ගියේ තුටු කඳුළිනි නෙත           ඉතිරු

අද මෙම කතාවේ මුලසුන අර             ගන්නි

එම නිවසෙහිම විසු බඩපිස්සිය            වන්නි

හරි හැඩකාරි ගමටම සිරි ගෙන          එන්නි

දුටු වන සිත් සතන් නිතැතින් බැඳ       ලන්නි

වත පියකරුය සමවෙයි පුන්සඳ       සොඳුරු

දිදුලන නයන පරදයි විකසිත             තඹරු

දෙබැමද වැනිය ඉඳුදුනු නිලඹර          ඇතිරු

සුරලිය පරදවන යුවතිය හරි             මියුරු

මතු සම්බන්ධයි...... 

👉 2 කොටස  බලාපොරොත්තු වන්න.

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. (මෙහි අන්තර්ගත සිතුවම් AI තාක්ෂණය භාවිතයෙන් කළ නිර්මාණ වේ). මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, October 10, 2026

පුංචි බිංදු සහ වටිනා පාඩම - ශනිදා දහයට

 පුංචි බිංදු සහ වටිනා පාඩම

ඔන්න එක පුංචි කැලෑවක, ලස්සන මල් පිරුණු උයනක හිටියා පුංචි මී මැස්සෙක්. එයාගේ නම තමයි "බිංදු". බිංදු කියන්නේ හරිම උත්සාහවන්ත, හැබැයි ටිකක් ඉක්මන්කාරී පුංචි මී මැස්සෙක්.

දවසක් උදේ පාන්දර බිංදු තීරණය කළා අලුත් මල් පැණි ටිකක් සොයාගෙන ලොකු ගමනක් යන්න. හැබැයි එයාගෙ මී මැසි අම්මා එයාට කිව්වා,

"බිංදු පුතේ, අද දවසේ කාලගුණය ටිකක් වෙනස් වෙන්න පුළුවන්, පරිස්සමින් ගිහිල්ල එන්න" කියලා. 

ඒත් බිංදු ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. 

"හා මම ඉක්මනට ගිහිල්ලා එන්නම්කො" කියලා එයා උයනෙන් පිටත් වුණා.

බිංදු ගොඩාක් මල් වලට ගිහිල්ලා මී පැණි එකතු කරගත්තා. ඒ අතරතුර එයාට හම්බ වුණා රත්තරන් පාට ලස්සනම ලස්සන මලක්.  ඒ මල දැකපු බිංදුගේ කෑදරකම වැඩි වුණා.  එයාට අමතක වුණා මී මැසි අම්මා කිව්ව දේ.  ඔන්න එක පාරටම කලු වළාවන් අහස වහගන්න පටන් ගත්තා.  හුළඟත් ටිකක් තදින් හමන්න ගත්තා.  වැහි බිංදු ත් වැටෙන්න පටන් ගත්තත් බිංදු ඒ ලස්සන මල අත ඇරලා යන්න කැමති වුණේ ම නැහැ. 

 "තව ටිකයි...., තව ටිකයි...." 

කියලා එයා තවමත් මල වටේ කැරකෙනවා.  එකපාරටම ආපු ලොකු හුළං පාරක් එක්ක මහා වැස්ස කඩා වැටුණා!  බිංදුට පියාඹන්න බැරි තරමට තටු තෙමිලා, එයා බිමට වැටුණා.

එතකොටම එතනට ආවා පොඩි කූඹි පැටවෙක්.

 එයාගේ නම "ටිංකර්". ටිංකර් ළඟ පුංචි කොළ කැබැල්ලක් තිබුණා කුඩයක් වගේ. ටිංකර් ඉක්මනට දුවලා ඇවිත් බිංදුව ඒ කොළය යටට අරගෙන පරිස්සම් කළා. 

බිංදු ගොඩාක් බය වෙලා, වෙව්ල වෙව්ල යි හිටියේ.

"අම්ම කිව්වා දේ ඇහුවේ නැති නිසා නේ මෙහෙම උනේ"

 කියලා බිංදු අඬන්න පටන් ගත්තා.  ටිංකර් එයාට ධෛර්යය දීලා කිව්වා,  "අඬන්න එපා යාළුවා,  අපිට වැරදුන තැන තේරුම් අරන් හැදෙන එක තමයි වැදගත්" කියලා.

ටිකකින් වැස්ස ඉවරවුණාම බිංදු පරිස්සමින් එයාලගේ කූඩුවට ගියා. 

ඔන්න ඉතින් එදා ඉඳන් බිංදු කවදාවත් වැඩිහිටියන්ගේ අවවාද නොසලකා හැරියේ නැහැ.  හැමෝටම උදව් කරමින්, කීකරු පුංචි මී මැස්සෙක් විදිහට එයා සතුටින් ජීවත් වුණා.

අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන පාඩම:
වැඩිහිටියන් කියන දේ අසා,  අනතුරු අඟවන දේවල්වලට ඇහුම්කන් දීලා,  කෑදරකමින් තොරව කටයුතු කිරීමයි ජීවිතයේ සාර්ථකත්වයට හේතුව!

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Friday, October 9, 2026

අලුත් යමක් ..

මගේ ආදර යහළු යෙහෙළියනි....,

හැමදාමත් කවි, කවි කතාන්දර ලියන මට කලෙක ඉදලා වෙනස්ම විදිහේ අදහසක් පහළ වුණා. හැමදාමත් මගේ කවි, කවි කතා කියවලා ඔයාලට ටිකක් මහන්සිත් ඇතිනේ නේද?

ඇත්තටම මේක අවුරුදු ගාණක් ඉඳලාම මගේ හිතේ තිබුණු අදහසක්. කොහෙන්ද පටන් ගන්නේ කියලා තමා මෙතෙක් කල් හිත හිත හිටියේ...

ඉතින් ඔන්න හෙට සිටම ඒ අදහස යථාර්ථයක් බවට පත් කරගන්න මම තීරණය කළා. ඒ කියන්නේ හෙට ශනිදා දහයට මම ඔයාලගේ නිවහනට එන්නේ සුපුරුදු කවියෙන් නෙමෙයි; පුංචි දරුවන්ගේ ලෝකය වර්ණවත් කරන අලුත්ම ළමා පිටුවක් එක්කයි! මැරෙන්න කලින් පුංචි පැටව්න්ටත් මොනා හරි කළා නම් හොඳයි කියලා මගේ හිත හැමවිටම මට කතා කරලා කිව්වා. 

මෙයින් කියන්නේ මම සදහටම කවියෙන් සමු ගන්නවා කියලා එහෙම නෙමෙයි ඕන්. කවි ලියන අතරම මේකත් කරන්න පුළුවන් නේ.. 

දැනට මම ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නේ පුංචි ළමා කතාන්දර .. 

මගේම නිර්මාණ, පැරණි සුරංගනා කතා, උපමා කතා වගේ නොයෙකුත් මාදිලියේ ළමා කතා ගෙන එන්න තමා මම හිතාගෙන ඉන්නේ. 

එත් ඉදිරියේදී තව අලුත් අංගත් මෙයට එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. දන්නා අඳුනන පුංචි පැටවුන්ගේ පුංචි චිත්‍ර වලිනුත් මේ පිටුව සරසන්න මම ආසයි. ඔබේ නිවසේ ඉන්න පුංචි දරුවන්ගේ නිර්මාණ තියේනම් මා වෙත එවන්න කියලාත් මම සෙනෙහසින් ආරාධනා කරනවා.

මේ අලුත් ආරම්භය ගැන ඔයාල මොනාද හිතන්නේ? ඔබේ අදහසත් මට කමෙන්ට් එකකින් කියන්නකෝ..

එහෙනම් සුපුරුදු පරිදි සුපුරුදු වෙලාවට සුපුරුදු තැන වන "සිතිවිලි මංපෙත" බ්ලොගයෙන් ශනිදා දහයට අපි හමුවෙමු.

එතෙක් මගේ යාළුවො සැමටම සුවබර දවසක්!

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Saturday, October 3, 2026

නිහඬ සමුගැනීම - (ශනිදා දහයට)

නෙතු තෙමමින් හෙළන සුසුම් බැහැ මෙතෙකැයි කියන්න

හිත මත තිබු සිහින පොදට බැඳි පෙම් සිත         බිඳින්න

ගිය පසු නුඹ ගමෙන් ඉගිළ මතු දියුණුව             ලබන්න

සිදුවුණි මට මතක පොතේ පිටු අමතක             කරන්න

පෙරමඟ බැලු නමුදු අඳුරෙ අතර මඟක           ගෙවන්න

දුක රඳවා සිතෙහි තනිව මේ කඳුළැලි                 දරන්න

නොකියා ගිය දුරක් නැවත නොඑන බවක්       දැනෙන්න

හැකි වී ඇත පෙමෙහි තරම නිහඬව සිහි           කරන්න

අද මා හැර ගියත් ලොවේ ජය මංපෙත            තනන්න

ළය උපදින සෙනෙහෙ නමින් නිරතුරු සුව       සැදෙන්න

යළි හමු වන දිනක් නොමැත මුදු පහසක්           විඳින්න

පුරනෙමි පෙරුමන් දවසක නුඹ තුරුලෙහි          නිදන්න

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Saturday, September 26, 2026

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා 7 - (ශනිදා දහයට)

හදවතේ ඉතිරි වූ මතක සටහන් 

සුදු ගවුමක් ඇදගෙන පරෙවි රෑනක් වගේ යහළු යෙහෙළියන් එක්ක එක පෙළට වැටිලා එයා ඉස්කෝලේ ගිය හැටි අදටත් චිත්‍රයක් වගේ මැවිලා පේනවා.

එයාට අවුරුදු 16ක් ක් විතර ඇති මගෙ හිතේ 

ඒ වෙනකොට මම හිටියේ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ. කැම්පස් එකේ කොච්චර නම් ගෑනු ළමයි උදේ හවස මට මුණගැසී තිබුණත්, මගේ හිතට මෙතරම් නුහුරු හැඟීමක් ලබාදෙන්න මේ ඇස්වලට මෙච්චරම පුළුවන් වුණේ කොහොමද කියලා මටත් හිතාගන්න බෑ.

ඒ ලස්සන ඇස්, ඉටි රූපයක් වගේ තිබුණ සිරුර... මේ සියල්ලම එකතු වෙලා මාව අතරමං කළා. මගේ හිත මගේ හැඟීම මටත් නොදැනීමයි එයාව හොයාගෙන ඇදුනේ.

එයා කව්ද කොහෙද ඉන්නේ එයාගෙ නම ගම මේ කිසිත් නොදැන හිටියත් ඇය හරියට උදේට පිපිලා සුවඳ හමන පියුමක් වගේමයි. නිල් මැණික් වගේ ලස්සන වටකුරු ඇස්,  රෝස තොල් පෙති, හිනාවෙනකොට වලගැසෙන මල් පෙති වගේ සුමුදු කම්මුල්... අදටත් මට පුළුවන් ඇස්දෙක පියාගෙන ඒ රූපේ හිතේ මවාගන්න. ඒ තරමටම මගේ හදවතේ එයා ලැඟුම් ගෙන තිබුණේ අනවසරෙන්මයි.

එයාටත් නොදැනිම මම එයාට ආදරය කරනවා කියලා කාලයක් යද්දී මට හිතුනා. උදේට කැම්පස් යන ගමන් හැමදාම වගේ මම බස් එකෙන් බෙල්ල එළියට දාලා එයාට අතවන්න පටන් ගත්තා. එයා මට අත වැනුවේ නැතත්, ටික දවසක් යද්දී ඒ ඇස් මාව සොයනවා කියලා මටත් දැනිලයි තිබුණේ.

ඇය පාසල් යන වෙලාවට මම උත්සාහ කළේ කොහොමහරි ඒ පාරෙන් යන්න. මගේ බස් එකෙන්  එළියේ නැවතුමේ පේන ඒ මුහුණ මගේ මුළු දවසම ලස්සන කරන්න ප්‍රමාණවත් වුණා. මම ඇයට ආදරය කළා විතරක් නෙවෙයි, මගේ මුළු විශ්වයම එයා වටා කැරකෙන්න පටන් ගත්තා වගේ මට දැනුණා.

ඒත්, මේ අහිංසක හුරුපුරුදු දැක්ම වැඩි කාලයක් එක විදිහටම තිබුණේ නැහැ.

දවසක්දා පුරුදු පරිදි මම බස් එකේ එනකොට ඇය  ඉන්න නැවතුමේ මම දැක්කේ මහා පාලු මූසලකමක්. එයාගේ යාළුවෝ මං දිහා බැලුවේ අමුතුම බැල්මකින්. මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා. එදා බස් එකේ මම මුළු පාරම හොඳින්ම බලාගෙන ගියත්, මට ඇයව දකින්න ලැබුණේ නැහැ.

ඊළඟ දවස්වලත් එස්.එස්.සී. පාරේ ඒ බස් නැවතුම හිස් වෙලා තිබුණේ කවදාවත් නොහිතපු විදිහට. දවසක්, දෙකක් නෙවෙයි, සති ගණනාවක්ම ඇය ඒ මාවතේ පෙනෙන්නවත් හිටියේ නැහැ. මගේ හිතට ලොකු බියක්, වියවුලක් වගේම ගැටළුවක් මතු වුණා. "එයාට මොකක් හරි වුණාද? නැත්නම් වෙනත් පාසලකට මාරු වෙලා ගියාද? එහෙමත් නැතිනම්... වෙන පළාතක පදිංචියටවත් ගියාද? වෙන රටකටවත්.....?" මගේ සිත නිරන්තරයෙන්ම ප්‍රශ්න කළා.

අපේ ආදරය කවදාවත් වචනවලින් ප්‍රකාශ කරගෙන තිබුණේ නැහැ. ඒත්, ඒ දෙනෙත් කතා කරගත්තු භාෂාව අද එකපාරටම නැතිවී ගියා වගේ මට දැනුණා. මට ඇයව මුණගැහෙන්න ඕන වුණා, ඇයි මෙහෙම වුණේ කියලා අහන්න ඕන වුණා. ඒත් මට ඒකට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ.

කාලය කොතරම් වේගයෙන් ගලා ගියත්, අදටත් මම ඒ පාර දිගේ යද්දී මට හිතෙන්නේ ඒ පුංචි කෙල්ල අයෙමත් ඒ පරෙවි රෑන මැද්දෙන් හිනාවෙගෙනම මං එනකන් බලාගෙන ඉඳියි කියලයි. ඇය මාව අතහැරලා ගියත්, මගේ හදවතේ රජකම් කළ ඒ අහිංසක කුමාරියගේ මතකයන් තාමත් මගේ නෙතඟ කඳුළක් රඳවන තරමටම ජීවමානයි.

කොතන කොහෙද ඈ දැන්... මගේ හදවතේ තවමත් අඩුවක් නොමැතිව රැඳී සිටින්නේ ඇයමයි!

ඇය ගැන සිහින මවමින් සඳ දිහා බලාගෙන සිටියදී මගේ හදවතේ හැඟීම් එකින් එක කොලයක සනිටුහන් වුනේ මෙහෙමයි. 

කැකුළු පිපෙන යාමේ / මා හදේ හී ලැගුම්              ලත්

සුමුදු රුවැති දේවී / පුන් සඳේ රැස් කැලුම්              ගත්

ගියද සැඟව නාරී / නෙත් සරින් සිත් දිනූ                මුත්

කොතන කොහෙද ඈ දැන් / සෝ දුකින් නෙත් තෙමී යත්

(අතිශක්වරී ඡන්දස - මාලනී විරිත ඇසුරෙන්)

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Saturday, September 19, 2026

ඉකිබිඳින හැඟුමන් - (ශනිදා දහයට)

බිඳුණු සෙනේ මතකය      හින්දා 
තිබුණ සුවේ ළය තුල        රන්දා 
ඉගිල ගියේ කොහෙටදො   මන්දා 
විඳිනු කෙසේ නෙතු ඉකි     බින්දා 

නිමල හදින් සෙනෙහස     පෑවේ 
මියුරු නදින් කවිපද          කීවේ 
නොදැන කිසිත් අප දුර      ආවේ 
සිහිව සියල් හදවත           දෑවේ 

( සෙල් ඡන්දස අයත් නළුගාහ විරිත ඇසුරෙන් )

විරිතේ ස්වභාවය 
පාදයකට මාත්‍රා 14 යි  
මත් 4 පසුව ගුරක් තබා එහිම යතිය වේ
නැවත මත් 4 ට පසුව යෙදෙන ගුරු දෙකකින් පාදාන්තයේ යතිය තැබිය යුතුයි. 