Sunday, May 30, 2021

සුභ උපන්දිනයක් වේවා..!

 මගේ තාත්තාට සුභ උපන්දිනයක් වේවා!

"පරම ආයුෂ වැළඳ සැරදෙන්...!"

මවට නොදෙවෙනි සෙනෙහ සයුරක පදවමින් අප දිවි ගෙතුම්
සැදුව ලෙංගතු රැකුම් අපමණ වගුරමින් දා බිඳු           උතුම්
මහිම පහදනු නොහැක කිසි විට වදනකින් හද රැඳි     සිතුම්
සරන භව මඟ සසර මතු දින නුඹෙ දියණි වෙන්නයි   පැතුම්

කළල සමයෙහි පටන් ළය පිරු මෙත් දියේ උල්පත      මතින්
රුවින අප ලොව පහන් කරමින එළි වැටක් විය ඔබ    නිතින්
ඉසිඹු දිවියක අසිරි විඳිමින යෙහෙන් වැජඹෙනු  මැන    ඉතින්
පරම ආයුෂ වැළඳ සැරදෙන්! පතමි පායුග වැඳ           බැතින්

~~ ලියෝනි අමරතුංග ~~

 

 

~~~~~~

 

Tuesday, May 25, 2021

මගෙ දෝණි

සුභ උපන් දිනයක් වේවා !

මගෙ දියණියට ඔවදනක්

සුදු දුව ඔබයි නිවසේ සුදිළෙන              පහන
 ඔවදන මෙයයි අදරින පුද දෙන            මෙදින 
හොඳ හැදියාව යහගුණයෙන් පිරි         නිතින
 දරුවකු ලෙසට යනු පෙරටම ලොව        දිනන 

තෙපලනු එපා කිසිවිට හිස් රළු                බසින
නොමගනු අනුන් සතු දේ අනුනගෙ          බැවින
දුරලනු ඕපදූපය කේලම                         සිතින
හිනැහෙනු හදවතින් සැම දෙන කර         තුටින

පෙනෙනට ඇඟපසඟ හැඩ වැඩ වෙන්න     එපා
අසරණ කෙනෙකු  දැක පිටු පා යන්න        එපා
 දෙනවිට යමක් ඒ ගැන ලත වන්න             එපා
කෙරුවද  උදව්වක්  කිසිවක් ගන්න            එපා

දවසක වේවි ඔබ හට සරණෙක              යන්න
එදිනදි මව්පියන් හඬට ද කන                දෙන්න
මුදලට නොහැක සැමදින ලොව  රජ      වෙන්න
යහපත පිරුණු හොඳ තරුණකු අත         ගන්න

ඔබ අත පතා පැමිණින ඒ කුල                 කුමරා
අසුපිට නොඑයි පොහොසත් කම නැත       උතුරා
ඔහු සතු රාජධානිය හද මත                   පතුරා
ඉඩදෙනු කිරුළු දරනට සෙනෙහස            අතුරා 

ඔබගේ පියා ගේ පණ  ඔබ  වෙයි            නිතිනේ
වෙහෙසෙයි නිතර මුදනට දිවි මඟ          දුකිනේ
මතු යම් දිනෙක සවිබල නැතිවෙයි         ගතිනේ
වෙනු මැන පිහිට එදිනට මවකව           පෙමිනේ 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



 

Friday, May 14, 2021

හදේ කොතැනක හෝ ඉඳියි ඔබ.....

 

රාත්‍රී අහසේ සැඟව සිනාසෙන සඳවත දුටුවිට
මට සිහිවුනේ ඔබවයි....
ඔව් ඔබව මයි..
මගේ හිත ඉඟිළ ගියේ..
ඔබවම සොයාගෙනයි....
උපනුපන් ආත්මයේ මගේම වනු මැන.

~~~~~

මුතු දසන් පෙළ විදා හෙමිහිට කෝල බැල්මක් නෙතින් හැලුනා
මුව නොකී එම වදන් ඇවිදින් මගේ හද මත හෙමින්     ඇලුනා
සසර පෙර මඟ පතා එන්නැති කියා නිතරම හිතට      දැනුනා
සයුරු රළ මත මුදා හල මුදු සිනා නොපෙනෙන දුරට    ඇදුනා

කවුරු කෙලසක කීව මුත් නාඹර සඳට බැඳි නිමල       හදවත
මටම කීකරු නොවී වියරුව සැරි සරයි රුව සොයා     මිහිමත
සැඟව රතඹර දෙසින් ඔච්චම් කරන සඳ පෙම්බරවු     සඳවත
හැඟුම් විසිරී ගියේ නොදැනිම සිහිවෙලා වත කමල      විකසිත

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


Saturday, May 8, 2021

මව්වරුන්ගේ දින උපහාරය.

  ආදර අම්මා


 
 
 
 
 
මව්වරුන්ගේ දිනයේ ආදර අම්මා සිහිකරමි ආදරෙන්

දස මාසයක් කුස තුළ බඳිමින          පවුරු
රැක සනසවා ගයමින් ගී රස            මියුරු
පිදු සෙනෙහසින් හද තුළ ගුණ කඳ  තැවරු
මගෙ ලොව රැජින අම්මේ ඔබ මිස   කවුරු

යලි යලි පෙරට තබනට පා පොඩි    සුමට
වැටි වැටි නැගිටි පෙරදින අත දී   මෙමට
දින දින වැඩෙන'යුරු දැක ඉපිලෙන සතුට
විඳ විඳ තුරුළු කර ගත්තේ නුඹෙ   ළයට 

පෙළු අපමණ ගැහැට මැද පිස දුක  කඳුළ
ඔබ වැළපුනා රහසේ තනිවම          එකල
අසරණ දිවිය සඟවා හදවත           පතුල
සිහි වෙයි අනඟි ඔවදන් අදරින     තෙපල

සමුගෙන ගියද තනිකර ලෙන්ගතු  හදවත්
සිහියට නැගෙයි අදරැති මුදු වත   සිපගත් 
දෙනෙතට බරය ඉනු උණු කඳුලැලි තවමත්
මගෙ මව වනු මැනවි මතු උපදින සසරෙත්

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~
 

Monday, May 3, 2021

නුඹේ ආදරේ ..

 


නුඹේ ආදරේ

ඉරිතලා දිවි සයුර අසරණ -  විටදි හමුවුණි ලෙසට             කවියක්
        වියළිලා මිය ඇඳුණු අරණක  -  මතු කලේ තඹ ළපලු        හෙවනක්        
හිනැහිලා රළු පරළු හදගැබ -  තුළට මැව්වේ නොපැතු       පැතුමක්
සඟවලා නුඹ අමිල සෙනෙහස - හිමියනේ කොහි සිටියෙ    මෙතුවක්
   
දෙනෝ දහසක් අතර සිටියද  -  කොඳුරනා පෙම් වැකිය    දෙඇසින්
රැදේ ගැඹුරුම තැනෙහි හදගැබ - සදා නොමැකෙන විලස    රහසින්
බිඳේ තනිකම නැගේ මදහස  -  ලබා දෙන පෙම්වත් වු         පහසින්
 නැතේ කිසිදින ඉතින් කඳුළැලි - විඳින තුරු දිවි තුරුලෙ    සතොසින්  

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.