Tuesday, May 25, 2021

මගෙ දෝණි

සුභ උපන් දිනයක් වේවා !

මගෙ දියණියට ඔවදනක්

සුදු දුව ඔබයි නිවසේ සුදිළෙන              පහන
 ඔවදන මෙයයි අදරින පුද දෙන            මෙදින 
හොඳ හැදියාව යහගුණයෙන් පිරි         නිතින
 දරුවකු ලෙසට යනු පෙරටම ලොව        දිනන 

තෙපලනු එපා කිසිවිට හිස් රළු                බසින
නොමගනු අනුන් සතු දේ අනුනගෙ          බැවින
දුරලනු ඕපදූපය කේලම                         සිතින
හිනැහෙනු හදවතින් සැම දෙන කර         තුටින

පෙනෙනට ඇඟපසඟ හැඩ වැඩ වෙන්න     එපා
අසරණ කෙනෙකු  දැක පිටු පා යන්න        එපා
 දෙනවිට යමක් ඒ ගැන ලත වන්න             එපා
කෙරුවද  උදව්වක්  කිසිවක් ගන්න            එපා

දවසක වේවි ඔබ හට සරණෙක              යන්න
එදිනදි මව්පියන් හඬට ද කන                දෙන්න
මුදලට නොහැක සැමදින ලොව  රජ      වෙන්න
යහපත පිරුණු හොඳ තරුණකු අත         ගන්න

ඔබ අත පතා පැමිණින ඒ කුල                 කුමරා
අසුපිට නොඑයි පොහොසත් කම නැත       උතුරා
ඔහු සතු රාජධානිය හද මත                   පතුරා
ඉඩදෙනු කිරුළු දරනට සෙනෙහස            අතුරා 

ඔබගේ පියා ගේ පණ  ඔබ  වෙයි            නිතිනේ
වෙහෙසෙයි නිතර මුදනට දිවි මඟ          දුකිනේ
මතු යම් දිනෙක සවිබල නැතිවෙයි         ගතිනේ
වෙනු මැන පිහිට එදිනට මවකව           පෙමිනේ 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



 

2 comments:

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.