දුක සැප එකට බෙදාගෙන වේලක් හැර වේලක් කාල හරි, අපි අපේ ම ලෝකෙකට යමු කියලා එදා හිතට දැනුන මොකද්දෝ හැඟීමක් නිසා, අපි දෙන්නාම ගෙවල් වලටත් හොර රහසේම එක්තැන් වුනාට, ඒ ජිවිතේ හිතන තරම් ලේසි නෑ කියල අපි දෙන්නාටම දැනෙද්දී, ආපස්සට හැරෙන්න පුළුවන් තැනක නෙමෙයි අපි හිටියේ. ඒ වෙනකොට ත් අපි අම්ම තාත්ත වෙන ලකුණු පහල වෙලා තිබුනෙ.
අපි අතර කොච්චර අගහිග කම් තිබුනත් ඒ කිසිවක් ගැන ගතු නොකියා හැම විටම මුහුණේ සිනහවක් දරාගෙන ඔයා හිටියේ ඒ නොසැලෙන ආදරය නිසාම වෙන්න ඇති කියලයි මට හිතුනෙම. ඒත් දුක සැප බෙදාගෙන මගේ සෙවනැල්ල වගේ ඉන්න මා එක්ක ආපු ඔයාට හැකි හැම සැප සම්පතක් ම දෙන්න මට තිබුනේ ලොකුම ඕනකමක්.
එහෙම අගහිග කම් උහුලන්න ඕනෙ කෙනෙක් නෙමෙයි ඔයා. පව් මම වගේ පව්කාරයෙක් එක්ක ඇවිල්ලා ඔයාටත් ඒ පව ගෙවන්න උන එක ගැන මගේ හිත වෙලාවකට මටම දොස් කියනවා.
අපි දෙන්නා තුන්දෙනා වෙද්දී නම් තවත් මේ ජිවිතේ බර වැඩියි කියලා මයි මට හිතුනේ. පොඩි පොඩි රස්සාවල් කරලා මම ඉතිරිකර ගත්ත සොච්චමෙන් හැමදාටම ජිවිතේ ගැටගහගන්න අමාරුයි කියලා මට හොඳටම තේරුනා.
ඒක තේරුන හින්දා ම වෙන්න ඇති ඔයාත් ටවුමේ තිබුන පොත් බඳින වැඩපලට හරි යන්නම් කියලා මට කියන්න ඇත්තේ. ඒත් මේ අපි දෙන්නගෙ පැටියාවත් කුසේ තියාගෙන ඔයා කොහොමද වැඩට යන්නේ.
නෑ..... හැම අතින්ම අගහිග කම් තිබුනත් ඔයාව එහෙම යවන්න මම කවදාවත්ම හිතලා තිබුනෙ නෑ.
මගේ ලෝකේ ඔයාව රැජිනක් වගේ තියන්න මම සිහින මැව්වත් දිනෙන් දින ඉහළ යන අපේ ජිවිත සටන එන්න එන්නම දරුණු වුනා.
ඔයාටයි ඔයාගේ කුසේ පූදින මගේ පුංචි පැටියාටයි කොහොම හරි ලස්සන ජිවිතයක් හදන්න මම ගත්ත තීරණයට අනුව තමයි අල්ලපු ගමේ තිලකසිරි ගේ පණිවිඩයට මමත් කොළඹ යන්න හිත හදා ගත්තේ.
හිතේ දුකෙන් හරි ඔයාව මගේ අක්කට බාරදීලා මම කොළඹ ආවෙ අපේ ඉදිරි ජිවිතය ගැන හිතලා මයි. මෙලොව එළිය බලන්න ඉන්න අපේ පැටියා ගෙ වාසනාවටම වෙන්න ඇති මම නොහිතපු විදිහට මගේ සුදුසුකම් වලට අනුව හොඳ රැකියාවක් ලැබුනේ. ටික දවසක් ගිහිල්ලා පිළිවෙලක් වෙලා පුංචියට ගෙයක් කුළියට අරගෙන ඔයාලව ත් හැකි ඉක්මනින් මගෙ ලඟට ගන්න තමයි දැන් මගේ එකම බලාපොරොත්තුව.
මම මෙහෙ ඉඳගෙන මේ වගෙ සිහින මවද්දි මට දැනෙනවා ඔයා මේ ගොම්මනේ දොරකඩ ඉඳගෙන ඉමක් නොකන් නොපෙනෙන ඈත වෙල් යය දිහා බලාගෙන කල්පනා කරනවා ඇති කියලා. ඔයා ගැන කල්පනා කරද්දි මට දැනෙන වේදනාව කියන්න ඔයාට වගේම මටත් කාත් කවුරුත් නෑ කියලා දන්නා නිසාම වෙන්න ඇති මගේ අතින් මේ වගේ කවි ලියැවෙන්න ඇත්තේ
මම එනතුරු ගෙට වෙලා අපේ පැටියාවත් බලාගෙන පරිස්සමින් ඉන්න මගේ මැණික.
හිතේ හිරු සඳු රාහු ගිල ඇත
දොඩන්න ට නෑ තවත් දහිරිය
පෙනේ සැම තැන වියරු ඡායා
නැගේ හදතුල සිහින් කෙඳිරිය
නැතේ දෙපයට වාරුවක් දිව එන්න
හනිකට සොයන් මිහිරිය
වැදේ හිරිකඩ නොයිඳ දොරකඩ
යන්න ගෙතුළට අඳුර පැතිරිය
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.