Saturday, January 20, 2024

දෝණි 8 (ශනිදා දහයට)

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දවසෙහි වැඩ නිමව එන දියණිගෙ        සැමියා
සෙනෙහස පවුලෙ සැමටම බෙදමින        සිටියා
එය දැක මව පියගෙ නෙතුකොන නිති    කකියා
වැගිරිය තුටු කඳුළු කිසිවෙකු හට       නොකියා

8 කොටස 

ගොඩ මඩ සරු කිරීමට අත දෙන          නිබඳ
වැඩිහිටි අයගෙ දුක සැප  විමසන          සුහද
ගම විසු සියලු දෙනගෙද තොරතුරු        කිමද
සොයනට ඉදිරිපත් වෙන අය අද         කොහිද

දරුවන් දීග තල දී නිරතුරු                   සතුට
පතමින් පසෙක හිද සැම දෙවිවරු          පිහිට
දකිමින් ඔවුන් පැද යන දිවි ඔරු             සුමට
විඳිමින් සිනාසෙයි මව පිය තුම              යසට


යුගදිවි අඹරෙ තුට විඳිමින            ඉඟිලෙන්නේ
සැමියගෙ සිතැඟි පොර බඳමිනි   කැලතෙන්නේ
පිටරට සිහිනයක රහසිනි             කිමිදෙන්නේ
වැඩිකල නොගොස් සැමටම මෙය    පවසන්නේ

තම ආයතනයෙහි සිටිනා මිතුරු             කැල
එකතුව සුරපුරක සිහිනය දකින              කල
තව සමහරෙක් දැනටම තම දිවිය           තුළ
සුව සැප විදියි රටකට ගොස් පළමු         පෙළ


දුවගෙද සිතෙහි මේ ගැන පැහැදුමක්       ඇති
පිටරට සිහිනයක තුන් සිත තුටින්             එති
සැමියගෙ බසට නිතැතින් හිස නැමෙයි      සිති
අසරණ මව පියගෙ හදගැබ රිදුම්           දෙති

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 7 කොටසට 

👉 9 කොටසට 

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

18 comments:

  1. දූ දරුවන් හට තමන් දාලා යන්න වෙන බව දැනෙන හැම දෙමාව්පියන්ම කොච්චර ඒ ගැන දුක් වෙනවද...ඒ වගේම ඒ ගොල්ලනගෙ අනාගතය යහපත් වෙන්න කියලා ආශිර්වාද කරන්වද...වෙනදා වගේම ලස්සන කවි ගොඩක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මයියා. වෙනද වගේම ඇවිත් තබපු සටහනට. ඇත්තටම ඔව්. මේක තමා යතාර්ථය. එත් ඉතින් තනි වෙන්න කැමති නෑ කියලා කිසිම දෙමව්පියෙක් දරුවන්ගේ ගමනට බාධා කරන්නේ නෑ. එයාලට නිදහසේ පියාඹන්න දෙනවා.

      Delete
  2. දරුවන් තම ඇකයෙන්, කුටුම්භයෙන් පමණක් නොව දේශයෙන්ද හැර යාමේ දුක විඳිමින් ය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. අද කාලේ අපි හැමෝම අත් විඳින දෙයක් මේක. ඔයාට මට කාටත් පොදුයි. ඒ විතරක් නෙමෙයි මගේ දෙමව්පියන් හිටං මේක අත්දකිනවා.
      මතකද මම මුලින්ම කිව්වා මේක මගේ හෝ මම දන්නා හඳුනන කිසිවකුගේ ජිවිත කතාවක් නෙමෙයි කියලා. ඒත් බලාගෙන යද්දී අපි ගොඩ දෙනෙකුගේ ජිවිත කතාව වෙලා නේද?

      Delete
  3. සොබවයට පිටු පාලා නොයන හැම
    දෙනා කරති ඒකට කීකරු වීම
    තටු ඉදුණාම කැදැල්ල හැර පියැඹීම
    නොකළොත් සකුණයන්හට නැත පැවතීම!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට නිදි. ඔව් ඒක ඇත්ත දෛවයට ඉඩ දීලා බලාගෙන ඉමු.

      Delete
  4. ආහ්. ලස්සනට ආව කතාවෙ පොඩි කුතුහලයක් වගේ ඉස්සරහට.
    ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දුමින්ද මේ පැත්තෙ ආවට සහ ප්‍රතිචාරයට. ඔව් කතා ඔහොම තමයි එක එක වෙලාවට එක එක පැත්තට හැරෙනවා.

      Delete
  5. කතාව වෙනස් පැත්තකට ඇදීගෙන යනවා වගේහොදයි හොදයි බලං ඉමුකෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සඳු ඔයාගෙ ප්‍රතිචාරය ට. බලාන ඉමුකෝ මොකෝ වෙන්නේ කියලා නේද? මටවත් කීකරු නැති මගෙ හිත දස අත සැරි සරනවා.

      Delete
  6. දැන්කාලෙනං නවීන තාක්සනය එක්කලා කතාබහ, දැකබලා ගැනීම කරන්ට පුලුවන් නිසා යම්තරමකට හරි ගැටලුව මගහැරෙනව

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නමීය මේ පැත්තෙ ආවට. ඔව් ඉස්සර වගේ නෙමෙයි දැන්නම් හිතෙන ඕනෙම වෙලාවක දැකගන්න කතාබහ කරන්න පුළුවන් නිසා අවුලක් වෙන එකක් නෑ.

      Delete
  7. ආසාවෙන් කියෙව්වා . මම මේ බලන් ඉන්නෙ ඊළගට කොහාට එක්කන් යාවිද කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ මගේ නිවහනට ගොඩ වැදුනාට. ඔව් ඔව් බලමුකෝ කොහෙට එක්කගෙන යාවිද කියලා නේද?

      Delete
  8. ගොඩ දෙනෙකුගේ ජිවිත කතාව වගේ තමා ඉතින්. පටන් ගන්න තැන තමා ඔයා විස්තර කරල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් මගේ නිවහනට ගොඩ වැදුනාට. ඔව් අපේ ජීවිත වලට සමාන තැනුත් මේ කවි කතාව පුරාවට නැතිවාම නොවේ නේද?

      Delete
  9. කතාව ගලන හැටි වංගු අරන යන හැටි අලංකාරයි.
    (පෝස්ට් කර දවසෙම කියෙව්වත්, කොමන්ට් කිරිමේ දී ප්‍රශ්ණය නිසා කොමන්ටුව ප්‍රමාද වෙනවා)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගල්මල් ඔබගේ ප්‍රතිචාරයට. පමා වෙලා හරි හිතට දැනෙන දේ ලිව්වනේ. එය ඉතාම අගේ කොට සලකමි.

      Delete