Saturday, December 30, 2023

දෝණි 5 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

ඉගෙනුම නිමා කර ඇය ඇත            පැමිණීලා
මව පිය දෙදෙන තුටු සයුරෙහි            කිමිදීලා
නිසි කල වයස ගිලිහෙනු පෙර         බොඳවීලා
හොඳ පෙළ වහක් කර දීමට            සැරසීලා

5 කොටස 

අතමිට සරුයි දැරියත් හරි දැකුම්        කළුයි
සුසිනිදු වතද පුබුදින සුදු පියුම්             බඳුයි
මිණිකැට සදිසි නෙතු සඟලේ කැලුම්     මුදුයි
මියුලැස දීග යන නිවසට පහන්            සිළුයි


කපු මහතාට එන්ටය පණිවුඩ               යවපූ
පවුලට ඇවැසි පිළිවෙළ පැහැදිලි           කරපූ
මවපිය දෙදෙන යුතුකම අකුරට           රැකපූ
දියණිට සොයයි සහකරුවෙකු ගුණ       වඩපූ

බිළිදිය දා පටන් තම පණ මෙන්            සුරැකී
පැද යන දිවි ඔරුව ගැන ඔවදන්           රැසකී
යහ ගුණ ඇතුළු සැම දෙය ඉහතින්    නොමකී
සමඟම දෑවැදිද ඇති මසුරන්             තැනකී


නවතම නිවස පිහිටා ඇති නගරෙ            මැද
ගොඩ මඩ වලද වටිනාකම වැඩිය             අද
සියලුම දෙයම දුවටයි නොම කරන           වද
සොයනට කීවෙ කොළු ගැටයකි පිරුණු    තෙද

පණ හා දෙවෙනි කොට රැකි තම එකම     දරු
යවලා කොහොම වෙන ගමකට තිබෙන     දුරු
නැවතී දෙමාපිය සමඟම දිවිය                 තුරු
සිටිනා කෙනෙකුටයි ඇරයුම බොහොම     ගරු

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, December 23, 2023

සුබ නත්තලක් වේවා. (ශනිදා දහයට)

සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නත්තලක් වේවා !


බෙත්ලෙහෙමේ සිසිලෙ.....

 එක දිගටම මගේ කවි කතාව බලලා මගේ යාලුවෝ හැමෝටම ටිකක් මහන්සි ඇති කියලා හිතුන නිසා අද පොඩි වෙනසක් කරන්න ඕන කියල මට හිතුනා.

හරියටම තව දවස් දෙකකින් ඒ කියන්නේ දෙසැම්බර මාසේ 25 වෙනිදාට ලොවට සාමය උදාකළ ජේසු බිලිඳුගේ උපත සමරන්න අපි හැමෝම බලන් ඉන්න නිසා ඒ සම්බන්ධයෙන් මොනවා හරි කළානම් හොඳයි කියලයි මගේ හැඟීම 

ඒක නිසා කාලෙකට ඉස්සර මම රචනා කරපු නත්තල් ගීතිකාවක් ගෙන එන්න හිතුනා.

මේ ගීතය නිර්මාණය වුණේ කැනඩාවේ තිබුන  කලා කවය කියන වැඩසටහනට. 

මෙම ගීතයට සංගීතය නිර්මාණය කළේ තිස්ස ගුණසේකර කියන කැනඩාවෙම අපිත් එක්කම ජීවත් වෙලා ඉන්න අපේම සහෝදරයෙක්. 

ඒවගේම ගීත ගායනයෙන් සහභාගී වුණෙත් කැනඩාවේ හැමිල්ටන් නගරයේ ජීවත් වෙන අපේම යාලුවෝ කිහිප දෙනෙක්.  

එහෙනම් ඉතින් ඔයාල ගීතය රසවිඳ  ඔයාලගේ හිතට දැනෙන මොනා හරි දෙයක් අපිටත් කියන්නකෝ ඒක දැනගන්න මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

බෙත්ලෙහෙමේ සිසිලේ.....

( බෙත්ලෙහෙමේ සිසිලේ
මරිය මව් තුරුලේ
ගවහල තුළ දි උදුවප් මාසෙ
නැළවෙයි දෙව් බිළිදා ) //

රන් තරුවක් අඹරේ දිලුනා
සුපුවත ලොව වෙත පතුරා
සව් සත හට සාමය බෙදනා 
දෙව් බිළිඳුන් ලෝ දිනුදා

බෙත්ලෙහෙමේ සිසිලේ
මරිය මව් තුරුලේ
ගවහල තුළ දි උදුවප් මාසෙ
නැළවෙයි දෙව් බිළිදා

රජවරු ගොපළු රෑන් ඇඳුනා
සතුටින් සිත් පිපුනා
සුවඳ ලාටු රන් දුම් රැගෙනා
නිරිඳුන් වැඳ පිඳුවා

( බෙත්ලෙහෙමේ සිසිලේ
මරිය මව් තුරුලේ
ගවහල තුළ දි උදුවප් මාසෙ
නැළවෙයි දෙව් බිළිදා ) //
හිනැහෙයි දෙව් බිළිදා
නැළවෙයි දෙව් බිළිදා
හිනැහෙයි දෙව් බිළිදා 
~~
සංගීතය - තිස්ස ගුණසේකර 
පද රචනය - ලියෝනි අමරතුංග 
ගායනය - තිස්ස ගුණසේකර ඇතුළු පිරිස.
-  ගායන සහය  -
ලියෝනි අමරතුංග 
අසංගා බෝගෙදර 
මෙල්වින් විජේසුන්දර 
ක්වින්සි විජේසුන්දර 
මිල්ටන් වාසල 
නිමල් දිසානායක 
පර්සි ප්‍රනාන්දු



ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නත්තලක් පතමින්ම මම නවතින්නම්.
🙏

Saturday, December 16, 2023

දෝණි 4 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

ගම මායිමට වෙන්නට මිලදී               ඉඩමක්
නව ආරෙකට තනවා යස ගේ          පොඩියක්
කිරි උතුරවා නැකතට ගයලා              පිරිතක්
තිර සර විසුම විය සැම දනගේ           සතුටක්

4 කොටස  

මව සහ පියා ගම පාසලෙ ශිල්ප             දෙන
අතරම දුවණි යැවුනේ නගරෙකට          වෙන
සවසට පැමිණ පාඩම් වැඩ නිමවු           තැන
දුව පැන නටයි මිතුරන් සැම එකෙකු      මෙන


ගම පාසැලේ දරු දැරියන් සිත              නිවන
දෙනිබිම අසල ඇති සහනය සුව           මවන
අරණෙහි ගත දැවටි සිහිලැල් මද          පවන
මන දොළ සතපවයි සරසා දිවි              බවන

වැඩිවිය පැමිණි දින මේ පින්බර             දුවනි
තුටුවිය ගමේ සැම ආදර හද               බැතිනි
නැකතට සියළු කටයුතු ඉටුකර         සොඳිනි
පැතුවනෙ ජයෙන් ජය සෙනෙහස පිරි    හදිනි


වෙහෙසව යොදා සිත කය තම දියුණ      ගැන
අහවර කළා දෙටු පෙළ දිවි විජය           ගෙන
වැඩි ඉගෙනුමට සරසවියට ඇතුළු            වන
දින නෙතු පොඟයි තුටු කඳුළින හදෙනි    පැන


ඉගෙනුම නිමා කර ඇය ඇත            පැමිණීලා
මව පිය දෙදෙන තුටු සයුරෙහි            කිමිදීලා
නිසි කල වයස ගිලිහෙනු පෙර         බොඳවීලා
හොඳ පෙළ වහක් කර දීමට            සැරසීලා

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, December 9, 2023

දෝණි 3 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

 තම දිවි තලයෙ කල වයසත් පසු          කරන
ලොකු පොඩි සැමට නෙක සහනය නිති බෙදන
ගම පන්සලේ දායක නිල තල                දරන
රජවරු වැනිය වැඩ සිටි හෙළ දිව        පුරණ

3 කොටස  

නිරතුරු ගමට එන කලු කඩ             මුදලාලි
ලොකු මුදලකට විකුණයි පොඩි බඩු      කෑලි
දෙසවන ගැටී ගම්මුන් පවසන             සෝලි
අහුරන ලදිය මඟ නොඑනට පැන          වේලි


වියැකෙන අතර කාලය තම දිවි           පලසේ
ඇත පෙර නිමිති පහලව ලොවටම       රහසේ
තුරුළට රැගෙන නැළැවිලි ගී පද          රසසේ
ගයමින ප්‍රීති වීමට බිරිඳක                 පැතුසේ

දිවි මං තලාවේ  වෙනසකි           ඇරඹෙන්නේ
පැතුසේ පුංචි ළදැරියකිය             පිවිසෙන්නේ
සැමගේ සෙනෙහෙ සුව විඳිමින    සුරැකෙන්නේ
ඔප වී වැඩී යහගුණයෙනි             සපිරෙන්නේ


දැඩි ලෙස ගමට පෙම් බැඳි මෙම ගුරු     යුවල
සපථව අතැර නොයනා ලෙස බිම           සපල 
රැඳෙනට සිතයි සමඟින ගැමි දන           නිමල
මතුදින තමන් දිවි ගඟ වනතුරු              නිසල



ගම මායිමට වෙන්නට මිලදී                ඉඩමක්
නව ආරෙකට තනවා යස ගේ           පොඩියක්
කිරි උතුරවා නැකතට ගයලා               පිරිතක්
තිර සර විසුම විය සැම දනගේ           සතුටක්

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 2 කොටසට

👉 4 කොටසට


~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, December 2, 2023

දෝණි 2 (ශනිදා දහයට)

  කවි කතාව

පසුගිය කොටසෙන්.................

වෙසෙනා නිවස යාබද සිප් නැණ          පියස
ඇමදා මිදුල අළුයම දුරලන                 අලස
වැඳලා බුදුන් පිළිගෙන නොඉඳුල           දවස
නිතිනා සිරිය රඳවයි දෙවොලක           විලස
~~~~~~~~

2 කොටස  

නව යුග දිවි පිවිසි මේ ගුරුවරු         දෙන්නා
හිමිදිරි උදයෙ පාසැල වෙත පිය         මැන්නා
එහි සිසු දරුවො සැමටම යහ මඟ     පෙන්නා
වැජබෙන ලදිය මිහිපිට දෙවිවරු        වැන්නා

කුස ගින්දරින් පෙළෙනා පොඩි         දරුවනට
අත මිට මුදල ගැවසෙන  ගම         වැසියනට
නොම කර වෙනස් කම් හොඳ සක  සුරුවමට
දෙති සහයෝගෙ එකඟව තම         හදවතට


ඉඳහිට පොලොස් ඇඹුලක් වෙල් මාළු     ඉතා
රසකර උයා රතු කැකුළුද මුලෙහි         ඔතා
ගම විසු සියළු දරුවන් එක සමව          සිතා
කුසගිණි නිවා පවසයි රස පිරුණු         කතා

පරිනත වෙමින දැනුමෙනි ගුණයෙනි     දැයට
දියකර හරිති ඇති ලෞකික සැප          රුවට
මතුවන නමුදු එක දෙක නර කෙඳි        හිසට
අපමණ තුටක් දුනි ගුරුවෘතිය              ලයට


තම දිවි තලයෙ කල වයසත් පසු          කරන
ලොකු පොඩි සැමට නෙක සහනය නිති බෙදන
ගම පන්සලේ දායක නිල තල                 දරන
රජවරු වැනිය වැඩ සිටි හෙළ දිව         පුරණ

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 1 කොටසට  

👉 3 කොටසට  

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.