Saturday, July 4, 2026

හදවතින් දුටු සොබා දහම (ශනිදා දහයට)

 

හදවතින් දුටු සොබා දහම


පිබිදුන කුසුම් නෙක පාටින් ලෙලෙන     හැටි

මනසින දකිමි මතුපිට රැදි තුෂර         කැටි

සවනත පිනයි බඹරුන් නාද අවට         සිටි

දැකුමට වරම් නැති ලැබු දිවි ගමනෙ  කෙටි


පාසැල වෙත ඇදෙන හුරතල් සිඟිති     රැල

වාගෙද ගගන තල රඟනා සකුණ        කැල

ගීතය හද පිනයි දැකුමට නොමැති        වර

මා ළය නිති පෙළයි වැලපෙනු කුමට      පල


ගත දැවටෙනා සිහිලැල් මද පවනෙ       රඟ

ලෙලදෙන මයුර පිල් බඳු නිල් වරලෙ      දඟ

හද පොපියනා සුසුමෙහි රැඳි සුවඳ        ළඟ

හැඩ කර ගලන සිතිවිලි ගඟ නොවේ    හිඟ


හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත      එකසේ

ලතවුනි දිය බිඳිති දැහනට සම        වැදිසේ

සියොළඟ සලිත කර මිහිමත සිප     රිසිසේ

නද නගමින්ම මහ වැසි උපදින         විලසේ


ලන්දේ කැකුළු වතු සුදු මල් පිපෙන      උදේ

කන්දේ ලැහැබෙ විහඟුන් ගී ගයන       ලදේ

පිම්මේ ඇඳෙන මුව පැටවුන් මවන      නදේ

වින්දේ සිතිනි සිහිනෙන් ගෑ සුවඳ        හදේ

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.