Saturday, October 28, 2023

පෙර මඟ බලමි (ශනිදා දහයට)

පෙර මඟ බලමි  

දිවි සම හිමියනි 
නොසිතු ලෙස ඔබ පිටවුනි
හදගැබ කැලඹුණි  
නෙතු යුගෙහි උණු කඳුළ රජවුනි 

අසනෙමි කරුණක් 
කිමද ඇදුනේ වෙනතක් 
සුළු හෝ වරදක් 
වුනිද කිවමැන මගෙන් මෙතුවක් 

පවසමි රහසක් 
ඇදුනු පසු ගව් ගණනක් 
සෙනෙහයෙ ලකුණක් 
වැඩුනි කුසතුල ලදිමි සතුටක් 

තනි වුන දින සිට
පොරකති බඹරු මලවට 
සැඟවිල වසනට 
දැරුව තැත නොම දනී රට තොට 

සිරිදුව සමඟින 
පිවිතුරු කමද රැකගෙන 
පුතු තුරුලට ගෙන  
දිවිය තරණය කලෙමි කඳුළින 

පුතු මගෙ පණ නල 
නිම කර සතර නිසිකල  
දකිනට හසරැළ  
දුනිමි ඔවදන් මැදින කඳුළැල

නිසි කල එලබින
පිටවිය කාර බඳිමින 
ලැබ දූ දරුවන 
වෙසෙන බව දැනගතිමි නිදුකින

දිවියෙහි පැරදුම 
දසතින් ලබත් ගැරහුම 
හදගැබ රහසෙම  
සතුට සමරයි ලැබුව ජයබිම 

පාලුය හදවත 
වාගෙම තනිවු සඳවත 
සීනය විකසිත 
ඒවි කියලයි මගේ රන් පුත

පිරිවර සමඟින
දකිනු රිසි යලි එන දින
අතැඟිලි ගනිමින 
බලමි පෙරමඟ බොඳවු දෙනෙතින 

පියුම් ගී විරිත ඇසුරෙනි  ) 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

ඇය හැරදා ගිය ඔහු ගේ පාපොච්චාරණය 👉

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

18 comments:

  1. නික්ම ගියෙමිය
    ආපසු බලන්නට සිත් නොදෙන්නේමය
    ආදරය නැතුවත් නොවේමය
    චපලමය හදවත

    තැනක නොරදන ව්‍යාධියකි හදවත
    රිදුණේ නුඹට පමණක් නොවේමය
    ආදරය අහිමිය - යළි ‌නොලැබේමය
    ඉදින් සොඳුරිය නුඹට පතමි ආසිරිය

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි කවියට පිළිතුර. මගේ කවිය රසවිඳ ඇති බව මින් වටහා ගතිමි.
      බොහොම ස්තුතියි ඔබට.

      Delete
  2. ඔහු ගියාට....
    ඔබ ලියයි කවි
    නමුත්
    ඔහු

    Greetings from London, ON

    ReplyDelete
    Replies
    1. කතාවෙ විදිහට නම් ඔහු විඳිනවා.
      ඇය විඳවනවා ,......
      වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..
      බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.

      Delete
    2. ඔහු එකේ ලිංක් එකක් තියෙනවා.
      බැලුවේ නැත්නම් 'ඔහු' click කරන්න.
      එතන ඔහු විඳවනවා.

      Delete
    3. බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. කොහෙන්ද ඔහු click කරන්නේ. ලින්ක් එවන්න පුළුවන් නම් තරහා නැතුව. .. ?

      Delete
    4. මගේ මුල් කොමෙන්ට් එකේ ඔහු වචනෙ උඩට cursor එක ගෙනියන්න.
      එතකොට cursor. එකේ ඊතලේ වෙනස්වෙයි අන්න එතකොට ක්ලික් කරන්න.
      ලින්ක් එක වෙනමම නම්: https://www.youtube.com/watch?v=Ugq4ia59MCY

      කොමෙන්ට් එකකට ඔයවගේ ක්ලිකබල් ලින්ක් එකක් දාන මෙතන තියෙනවා.
      https://www.share-collections.com/2021/01/how-to-insert-hyperlink-in-blogger.html


      බ්ලොග් පොස්ට් එකකටත් ෆොටෝ එකතුකරනවා වගේම ක්ලිකබල් ලින්ක්ස් එකතුකරන්නටත් පුළුවන්.

      ජයවේවා!

      Delete
    5. බොහොම ස්තුතියි. "තේරුනේ.. දැන් තමයි " මම එක දැකලා නෑ. අපහසුතාවයක් උනා නම් සමාවෙන්න.
      ඔව් ඔයා හ‍රි ඇය වගේම ඔහුත් විඳවනවා කියලා තේරුනා.
      "The day you said goodbye
      And I can't forget no matter what I do"
      මගේ කතාවේ ඔහු ඇයව අත හැර ගියා වගේ ඔහුගෙ කතාවේ ඇය ඔහු අත හැරලා ගිහිල්ලා නේද? හැම වෙලේම තනි වුන කෙනා තමා විඳවන්නේ. යන කෙනා යන්නෙ සතුටෙන් කියලා හිතුනා මට.
      නමුත් ......මම හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්..

      Delete
  3. හිමි නැති මොහොතක
    හුදෙකලාවම නිති රැක
    දරු රුව දැකුමක
    තුටින් තවමත් හිදී කඳුලක....

    විරිතට පද ගැළපුම අපූරුයි.
    එන්න දුමී ගේ පැත්තේ සදකඩ පහන බලන්න.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. මම එහෙ ගිහිල්ලා බලන්නම්. මොන නමින්ද බලන්න ඕනේ. විස්තර එවන්න පුලුවන්ද

      Delete
  4. හ්ම්. විඳින විඳවන ජීවිත... නෙ 💔💓

    ReplyDelete
    Replies
    1. "ජීවිතය..." කාටවත් තේරුම් ගන්න බැරි, කොයි මොහොතේ විඳින කොයි මොහොතෙ විඳවන්න වෙයිද කියලා තේරුමක් බේරුමක් කරගන්න බැරි අරුම පුදුම දෙයක්.
      බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.

      Delete
  5. ආසාවෙන් රස විදිනවා. ආයෙමත් ලියන්න පටන් ගත්ත එක හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ ඔබගේ ප්‍රතිචාරයට. බ්ලොග් එකට මට පාර පෙන්නුවෙ ඔයානේ. ඉතින් නොලියා කොහොමද?

      Delete
  6. මේවා දැක්කාම "අපිත් ලිව්වේ කවිද?" කියා සිතේ!

    සුන්දර ගෙත්තමක් අදත්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
      කවිය රස විඳ ඇති බව හැඟුනා.
      අයියෝ... එහෙම හිතන්න එපා. මම කවි ලිව්වට ඔයාලට වගේ රසවත් කතා ලියන්න බෑනෙ මට.

      Delete