පුංචි බිංදු සහ වටිනා පාඩම
ඔන්න එක පුංචි කැලෑවක, ලස්සන මල් පිරුණු උයනක හිටියා පුංචි මී මැස්සෙක්. එයාගේ නම තමයි "බිංදු". බිංදු කියන්නේ හරිම උත්සාහවන්ත, හැබැයි ටිකක් ඉක්මන්කාරී පුංචි මී මැස්සෙක්.
දවසක් උදේ පාන්දර බිංදු තීරණය කළා අලුත් මල් පැණි ටිකක් සොයාගෙන ලොකු ගමනක් යන්න. හැබැයි එයාගෙ මී මැසි අම්මා එයාට කිව්වා,
"බිංදු පුතේ, අද දවසේ කාලගුණය ටිකක් වෙනස් වෙන්න පුළුවන්, පරිස්සමින් ගිහිල්ල එන්න" කියලා.
ඒත් බිංදු ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.
"හා මම ඉක්මනට ගිහිල්ලා එන්නම්කො" කියලා එයා උයනෙන් පිටත් වුණා.
බිංදු ගොඩාක් මල් වලට ගිහිල්ලා මී පැණි එකතු කරගත්තා. ඒ අතරතුර එයාට හම්බ වුණා රත්තරන් පාට ලස්සනම ලස්සන මලක්. ඒ මල දැකපු බිංදුගේ කෑදරකම වැඩි වුණා. එයාට අමතක වුණා මී මැසි අම්මා කිව්ව දේ. ඔන්න එක පාරටම කලු වළාවන් අහස වහගන්න පටන් ගත්තා. හුළඟත් ටිකක් තදින් හමන්න ගත්තා. වැහි බිංදු ත් වැටෙන්න පටන් ගත්තත් බිංදු ඒ ලස්සන මල අත ඇරලා යන්න කැමති වුණේ ම නැහැ.
"තව ටිකයි...., තව ටිකයි...."
කියලා එයා තවමත් මල වටේ කැරකෙනවා. එකපාරටම ආපු ලොකු හුළං පාරක් එක්ක මහා වැස්ස කඩා වැටුණා! බිංදුට පියාඹන්න බැරි තරමට තටු තෙමිලා, එයා බිමට වැටුණා.
එතකොටම එතනට ආවා පොඩි කූඹි පැටවෙක්.
එයාගේ නම "ටිංකර්". ටිංකර් ළඟ පුංචි කොළ කැබැල්ලක් තිබුණා කුඩයක් වගේ. ටිංකර් ඉක්මනට දුවලා ඇවිත් බිංදුව ඒ කොළය යටට අරගෙන පරිස්සම් කළා.
බිංදු ගොඩාක් බය වෙලා, වෙව්ල වෙව්ල යි හිටියේ.
"අම්ම කිව්වා දේ ඇහුවේ නැති නිසා නේ මෙහෙම උනේ"
කියලා බිංදු අඬන්න පටන් ගත්තා. ටිංකර් එයාට ධෛර්යය දීලා කිව්වා, "අඬන්න එපා යාළුවා, අපිට වැරදුන තැන තේරුම් අරන් හැදෙන එක තමයි වැදගත්" කියලා.
ටිකකින් වැස්ස ඉවරවුණාම බිංදු පරිස්සමින් එයාලගේ කූඩුවට ගියා.
ඔන්න ඉතින් එදා ඉඳන් බිංදු කවදාවත් වැඩිහිටියන්ගේ අවවාද නොසලකා හැරියේ නැහැ. හැමෝටම උදව් කරමින්, කීකරු පුංචි මී මැස්සෙක් විදිහට එයා සතුටින් ජීවත් වුණා.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.



No comments:
Post a Comment