Saturday, November 7, 2026

කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන 4 - ( ශනිදා දහයට)


- නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -


 පසුගිය කොටසෙන් ..... 

සිතමින් නිබඳ ඔහු ගැන හද        ලතවෙන්නේ
සිහිනෙන් ළඟට විත් ඉඳහිට        කොඳුරන්නේ
මවමින් වියරු ඡායා මන               කළඹන්නේ
සිටිමින් අවදියෙන් සැම දෙවි           අයඳින්නේ


4  කොටස  

පිටවිය හනික දිනපති වැඩි           පමාවට
දුක හඳුනනා දෙවිවරු ඇති         විමානෙට
"අධිපති තුන්ලොවට, වනු මැන     කමාමට
රැකදෙනු මගේ ආදර හිරු         මෙමාහට"



ඔහු දුර නිසා පිදු සෙනෙහස        විඳගන්න
බැහැ පෙර වගේ විය සැම ගිණි   උහුලන්න
උලමෙකු හඬ තලයි තුන්යම     එළිවෙන්න
කඳුලකි මතුවුනේ දෙකොපුල  නැහැවෙන්න

දින කිහිපයකි පසුවූයේ බිය              රැඳුණු 
ඇමතුවෙ ලඟම මිතුරෙකි යහගුණ   පිරුණු
පැවසුවෙ රුදුරු පුවතකි හදවත        බිඳුණු
ඉවසනු හැකිද මොළකැටි සිතකට  ගැහැණු


සටනට පිවිසියේ රැකුමට දැය         අපගේ
රුදුරුවු විරුදු වැටලිය සැම රැඳි      මුරගේ
ලද වෙඩි පහරකට සිදුරුව ගත       ඔහුගේ
රුහිරය වැඟිරුවේ ලය මත මිහි     කතගේ


දිව ගියෙ රෝහලට තොරතුරු ලැබු     විගස
දුරු කරගන්න තම හදවත රැඳි         කුකුස
දැක සනසන්න ඔහුගේ ඔත්පල           මනස
මුව සිප ගන්න පෙර සේ නිවමින          පවස



මතු සම්බන්ධයි...... 

👈 3 කොටසට 

👉 5 කොටස  බලාපොරොත්තු වන්න.


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. (මෙහි අන්තර්ගත සිතුවම් AI තාක්ෂණය භාවිතයෙන් කළ නිර්මාණ වේ). මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

1 comment:

  1. කතාව හිතට දැනෙන පද එකතුව, අපූරුයි.

    ReplyDelete