නොහදුනන නෙත් දහස් ගණනක් අතර දුටු රුව සෙනෙහෙ තැවරූ
තෙපල රහසක් තදින් ලියැවුනි බිඳ දමා හද ගැබෙහි ඉවුරූ
මවන රසවත් සුපෙම් හසරැළි ලැඟුම් ගත් කළ හිතට නුහුරූ
හමන පවනත් දෙවන සිසිලස සමඟ යැද්දේ පහස සොඳුරූ
යනෙන මඟ තොට තනිය මඟහැර දෙඅත් පටලන ඇවිද ගියදුර
මතක සටහන් බවට පෙරළී හෙළයි සුසුමන් කඳුළ හිමිකර
අවට ලෙළදෙන තුරු ලතාවන් තවම පෙරලෙස මවන සිරිඟර
ගෙනෙන විරහව කෙලස ඉවසමි වසා ගමි මම දෙනෙත තදකර
එදා සුළැඟිලි රන්හුයෙන් බැඳ සපත කල මුදු හැර නොයන්නට
මෙදා සමුගෙන ගියේ ඇයි නුඹ දෙවිඳු තුරුළට යලි නොඑන්නට
ලොවේ අස්ථිර කමක ඇති දුක මෙනෙහි කරගමි හිත හැදෙන්නට
ඉතා නුදුරෙම සොයා එමි රස පෙම් කැදැල්ලක සුව විඳින්නට
( මදු ඡන්දස, පුණුඅතිපුණු විරිත ඇසුරෙන් )
(විරිතේ ස්වභාවය - සිව්පද කාව්‍යයක එක් පාදයක මාත්‍රා 28ක් යොදා ලඝු ගුරු භේදාදිය නැතිව මාත්‍රා 7 න් 7 ට යතිය තබා එළි සම කොට ලියැවෙයි. )
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේක ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගෙ නිහතමානී ඇගැයීමට. එකම එක්කෙනෙක් හරිය කවිය රස වින්දා කියලා හරිම සතුටුයි.
Deleteඡන්දස, මාත්‍රා ගැන නම් වැඩි අවබෝධයක් නෑ. හැබැයි කවියේ රිද්මය එහි ශොකී තේමාවට ගැලපෙනවා කියලා හිතුනා.
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට. මගෙ සිතිවිලි මංපෙත නිවහනඩ ගොඩ වැදි රසවත් ප්‍රතිචාරයක් තෑගි කලාට.
Delete