දුම්බර මැණිකේ
පාත දුම්බර කඳුකරේ සිට සරණ පාවා පැමිණි සොඳුරිය
කෝල බැල්මක එතෙන නිලුපුල් කැළුම් විහිදා මවන අසිරිය
රෑට අහසේ දිදුලනා සඳ රැජින පරදන වතෙහි රුසිරිය
ඈත දුර සිට විඳ ගනිමි හද මෝරනා පෙම් සුවඳ පැතිරිය
දමා සිරිලිය පැලේ තනිකර ඇදුණි හේනට සතුට ගිලිහුණි
නොයා කෙලෙසද රකිනු යුතුමය පරපුරෙහි කුස කඳුළ රජවුණි
පෙනේ නුබ ගැබ පලා හිනැහෙන සඳවතිය හද විරහ රැඳවුණි
හැඟේ වෙනදට වඩා අද රැය දිගුය සියොළඟ සුසුම් වැලපුණි
හදෙහි තෙරපෙන සිහින වැල් නිති දවයි තුන්හිත සුවඳ ගාවා
කුමන අරුමෙද අඳුරු වනපෙත ඇඳෙන සෙවනැළි මිලින වූවා
"රුදුරු තනිකම නිවාලිය හැක අසල වැතිරෙනු සෙනෙහෙ නාවා"
නිසල ගගනත සරන වවුලෙකු වියරු කෙඳිරිලි හඬින් කීවා
සඳේ තනියට රැඳුනු ඉරබටු තරුව ඔච්චම් කරන සේයා
මගේ හදවත සතුට බිඳගෙන එබුණි දොම්නස් රුදුරු මායා
නිවා සරතැස ගෙනෙන සිසිලස මවනු නිකැළැල් මියුරු ඡායා
දවා ගණදුර පෙමෙන් පිරිමැද දිලෙයි අහසේ දිනිඳු පායා
නිහඬ වනගැබ පලා මතුවනු දුටිමි නිදිබර කුසුම මුකුළිත
ලොවට රහසෙම දළුලනා නෙක පැතුම් බරවිය වෙමින් විකසිත
නොදෙයි ඉවසුම් දකින තුරු නුඹ පියඹලා එමි වෙතට සිරිකත
මුදනු රිසියෙන ළයේ මිරිකෙන සුපෙම් හැඟුමන් නොරැක මුණිවත
මදු ඡන්දසේ (පුණු අතිපුණු විරිත) ඇසුරෙන්
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
බොහෝම අලංකාර, අගේ ඇති වර්ණනාව කවිය රසබර කරන අපූරුව ගොඩාක් හිත ගත්තා. ඔබේ පදපේලි වලින් කවදත් මතුකරන, සිත්තම් කරන පරිසර රූප අපූරුයි. දුම්බර මැණිකේ හරිම අලංකාරයි, විවිධ අවස්ථාවන් මතුකර කරන දෝලනය විශේෂයෙන්ම.
ReplyDelete