Tuesday, December 9, 2025

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා


හිතේ තියන දුක මෙහෙම හරි කියන්න ලැබෙන එක සතුටක් වෙයි කියලා මට හිතුනා. මගේ ජීවිතේ ම දුකක් තමයි. එත් මේ තව එක අවස්තාවක්.

මට හිටියේ හරි අපුරු නෑනා කෙනෙක් මම නෑනාට හිතින් ආදරය කල තරම කොයි තරම්ද කියලා කියන්න මට වචන නැති තරම්. 

එයා සිලිඳි. මයෙ අම්මගෙ එකකුස උපන් මලයාගේ එකම දූ.
එයා මට වඩා අචුරුදු කිහිපයක් බාල උනත් අපි ගමේ ඉස්කෝලෙට ආවගියෙ එකටමයි. මාමණ්ඩි හිතුවෙ මා එක්ක යන එන එක කෙල්ලගෙ පරිස්සමට හොඳයි කියලයි.  

අපි දෙන්නා පුංචි ඔරුවෙන් ඈතට ඈතට ගිහිල්ලා තරඟෙට වගේ ඕලු මල් නෙලපු හැටි අදටත් හරිම සුන්දර මතකයක් විදිහට හදේ ගැඹුරුම තැන ඇලවිලා වගේ. ඒ හුරුබුහුටි දිගැටි ඇස්  දෙක දිහා බලාගෙන කොයි තරම් නම් සිහින මැව්වාද කියලා දන්නෙ මමයි මගේ හිතයි විතරමයි.  
එත් සිලිඳි තාම පුංචි එකී නිසා මේ කිසිම හැඟීමක් පවසාගන්න තරම් මට හයියක් තිබුනේ නෑ. ඒ සමහර විට මාමණ්ඩි මා කෙරෙහි තියපු විශ්වාසය නිසාම වෙන්නත් ඇති. මම බලාගෙන හිටිය මගේ පුංචි මල් කැකුළ ඩිංග ඩිංග පිපීගෙන එන හැටි. 

කුඹුරට පෝර හෝ වෙනයම් දෙයක් ගේන්න ටවුමට යන හැම විටම මයෙ සිලිඳි ට  චිත්ත රෙද්දක්, පබුළු වැලක් ගෙනත් දෙන්න මම අමතක කලේම නෑ. මගේ මේ ආදර සැලකිලි නිසා නැන්දම්මා මාමණ්ඩි මොනා හිතුවාද කියලා මම දන්නේ නෑ. ඒත් ඒ ගැන වැඩිපුර හිතන්න මට උවමනා කලෙත් නෑ. 

මේ විදිහට කාලයක් මම සිහින ලෝකෙට වෙලා කෙල්ලට ආදරේ කරන කොට ලැබුන ආරංචිය ගැන හිතාගන්න බැරුව මම තනියම වැළපුනා.  ඇයි මම මගේ හිතේ අදහස කලට වෙලාවට මාමණ්ඩි ට නොකීවෙ කියලා අදටත් ලත වෙනවා. මාමණ්ඩි හිතන්න ඇති මම ඇයට සෙනෙහෙ පාන්නේ  මගේ නෑනා නිසාමයි කියලා. 

පිට ගමේ ඉලන්දාරියා නෑනාව බලන්න ගමට එන දවසෙ තමයි මට මගේ දුක දරාගන්න බැරි උනේ.  

එදාට මටත් එන්න කියලා මාමණ්ඩි  කියන්න ඇත්තේ උන්දැගෙ අක්කණ්ඩිත් පුතා එක්ක එන එක හිතට හයියක් කියලා හිතලා වෙන්න ඇති.  අනේ මමත් ගියේ ඒකි මගේ ඇවැස්ස නෑනා වෙච්චි කොට නොයා බරිකමට..

එත් අද මම ....  සියඹලා ගහ පාමුළ ඉඳගෙන ඈත වෙල්යාය දිහා බලාගෙන කොයි තරම් නම් වෙලා තනියම කල්පනා කර කර ඉන්න ඇතිද කියලා මමවත් දන්නේ නෑ. 

මේ විදිහටම සිලිඳි වත් එහා පැත්තේ තියාගෙන ඉමක් කොනක් නොපෙනෙන වෙල් යාය දිහා බලාගෙන විහිළු කතා කියන්න යි, පුංචි ඔරුවෙන් ඈතට ඈතට ගිහිල්ලා ඔහේ පාවෙවී ඉන්න ගමන්  ජිවිතේ අනාගත සිහින දකින්නයි මම හරියට ආස කළා.

මොනා වුනත් බහ තෝරන වියේ ඉඳලාම ආදරය කල කෙල්ලට වෛර කරන්න තරම් පහත් හිතක් මට නෑ. ඒ ඉලන්දාරියා නෑනාව හොඳින් බලා ගනියි. ඔවුනට සුබ මංගලම් කියලා නෙතේ බොඳ වුන කඳුළක් කාටත් හොරෙන් මම පිසදා ගත්තා. 


හිතේ දුකට කවි ලියැවුනේ මටත් නොදැනීමයි ..

සිත් යායේ තෙරපෙන්නේ, බැල්මෙන් ලත්  හසරැල්ලක්

නෙත් මානේ රජවෙන්නේ, හෙම්බත් වූ     කඳුළැල්ලක්

තෙත් කම්මුල් පවසන්නේ, රෑ නින්දෙත්     විඳවිල්ලක්

මන් ආයේ නොපතන්නේ, දුක් ගේනා        සිතිවිල්ලක්

(ආලෝලා විරිත ඇසුරින්. )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

2 comments:

  1. ඉස්සර අහපු මුවන්පැලැස්ස මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙමද.... නමි හැමදාම කියනවා මොනා හරි ලියන්න කියලා ඉතිං පොඩි try එකක් දුන්නා හොඳයිද මන්ද. බොහෝම ස්තුතියි මගෙ සිතිවිලි නිවහනට ගොඩ වැදිලා අතීතයත් මතක් වෙන්නම දැක්වූ ප්‍රතිචාරයට.

      Delete