Sunday, February 1, 2026

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා 4


මම බොහොම අමාරුවෙන් ජිවිතේ දිනාගන්න ​ඇප කැප වෙලා වැඩ කරපු කෙනෙක්. 

මට අද වගේ මතකයි මම පුංචි කාලෙම මගේ තාත්තා අපිව දාල ගිය දවසේ අපේ අම්මා මාවයි මගේ මල්ලිවයි තුරුළු කරගෙන විලාප තිය තිය හඬපු හැටි. එතකොට මට යාන්තම් අවුරුදු දහය පිරුනා විතරයි. මල්ලි නම් අවුරුදු 6 ක විතර පොඩි එකා මේ කිසිම දෙයක් මතක නැතුව ඇති. 

එත් අම්මගේ ඒ වැළපීම හැමදාටම තිබුනෙ නෑ.  දවසයි දෙකයි. ඊට පස්සේ අපේ අම්ම තේරුම් ගත්තා වෙන්න ඕනේ, ජීවිතය මෙතනින් නිම වෙන්නෙ නෑ අපි තුන්දෙනා තව ඉස්සරහට ගමන් කල යුතුයි කියලා. හැබැයි ඉතින් මේක අපේ අම්ම තනියම තේරුම් ගත්තාද නැතිනම් වෙනයම් කවුරුන් හෝ ඇයට තේරුම් කර දුන්නාද කියන්න තරම් මගේ පොඩි හිතට තේරුමක් තිබුනේ නෑ. 

අන්තිමට ගෙවල් ගානේ ගිහිල්ලා උයලා පිහලා දිල හරි ඒ ලැබෙන පඩියකින් අපිට දිගටම උගන්වලා රටේ හොඳ තැනකට ගන්න ඕනෙ නේද කියන හැඟීමෙන් තමයි අම්මා හැමවිටම වැඩ කලේ. 

ඇය ඒ වින්ද දුක මට හොඳටම තේරුණ නිසා වෙන්න ඇති මමත් උත්සාහවන්ත වෙලා ජිවිතේ දිනන්න ඕනේ කියන පරමාර්ථයෙන් වැඩ කරන්න පටන් ගත්තේ.  

එදා ඒ පටන්ගත්ත තරඟය මම අවසන් කලේ සරසවි යෙනුත් පිට වෙලා බැංකුවේ රැකියාවටත් ගියාට පස්සෙ​යි.  

මෙතෙක් මගේ ලෝකෙ වීරයා උනේ මගේ අම්ම. අපේ පුංචි කැදැල්ලේ හිටියේ මමයි අම්මයි මල්ලියි විතරයි.  ඒ ඇරෙන්න වෙන කිසිම හදවතකට ලං වෙන්න මට උවමනා කලේ නෑ. මල්ලිටත් එහෙමයි.  ඉතින් අපි ඔහොම සතුටින් ඉන්නකොට තමයි මගේ අම්මා සදහටම අපි දෙන්නාගෙන් සමුගත්තේ. අපි දෙන්නාගේ සතුට වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා මේ තැනට අපිව ගෙන්න ඇප කැප වෙලා වැඩ කරපු අම්මාට සලකාගන්න ලැබුනේ පුංචි කාලයයි. රැකියාව ලැබුනාට පස්සේ ටිකෙන් ටික අම්මා ව මේ කරදර වලින් නිදහස් කරලා පොඩි ගේ කෑල්ලකුත් හදාගෙන ජිවිතේ පටන් ගන්න හිතුවා විතරමයි වගේ. ඒ දුක නම් කියන්න වචන හොයා ගන්න බෑ. ඒකට මම දැන උගත් ශිල්පය මදි තරම්.  

අම්මගෙ මළගමට අපු සෙනඟ අතරින් සරසවියේ නිතරම මා දෙස බලා හිටිය ඒ නි​ල් තරු මුතු  ඇස් දෙක ආයෙම මතු උනා.  


~ * ~

*කොහොමද  කල්ප  ජිවිතේ 

**හොඳින් ඉන්නවා මයුරි ... ඔයා .... කොහෙද මොනාද දැන් කරන්නේ 

* මම ටීචින් ..  ලබන මාසේ ඉඳලා ඔයාලගේ ගමේ ඉස්කෝලෙ ...

**ආනේ එහෙමද... මම දැනගෙන හිටියෙ නෑ නෙ. 

* ඔයා නොදන්නා  තව ගොඩාක් දේවල් තියෙනවා  කල්ප ..  ඔයා දන්නවාද දන්නේ නෑ මම ඔයා ගෙ පිටිපස්සේ සෙවනැල්ල වගේ ආව කියලා 

** කොහොම දැනගන්නද මට අම්මගෙන් හා මල්ලිගෙන් තොර ලෝකයක් ගැන හිතන්න ඒ කාලේ ඒ තරම්ම කාලයක් තිබුනේ නෑනේ මයුරි. 

* ඒක මම දන්නවා. ඒ නිසාම තමා මම කවදාවත් ඔයා ට ලංවෙන්න වත් හිතුවේ නැත්තේ. ඒත් ඔයා ගැන හැම දේම දැනගන්න මට එදා ඉදලාම උදව් උනේ සුනෙත්. එයා මගේ නැන්දගේ පුතෙක්.

** ආ.... මේ අපේ සුනෙතා ....

* හ්ම් .....     ඉතින් සුනෙත් මල්ලි වෙලාවක ඔයාට කතා කරයි  මේ වැඩටික ඉවර වුනාට පස්සේ.  

** හ්ම්... ඔව් මේ දිනවල සුනෙත් මට හරියට උදව් කරනවා මේ වැඩ වලට. 

හත්දොහේ දානෙත් පහුවෙලා ටික දවසක් යද්දී තමා සුනෙත් ගෙන් මේ හැමදේම මට දැනගන්න පුළුවන් උනේ. 

ඉස්සර ඉදන්ම මගේ පුරුද්දක් තමයි සවස් යාමයේ අහස දිහා බලාගෙන තරු ගනින එක. අම්මා පුංචි කාලේ අපි දෙන්නට බත් කැව්වේ එහෙමයි.  හදවතේ අම්මා නැති පාළුව මකන්න මගේ ලෝකෙට පායපු තරුව මයුරි ද කියලාත් මට වෙලාවකට හිතෙනවා.  ඒ හිත ගැන මගේ හිතෙත් යම් ආලවන්ත කමක් නැතිවාම නෙමෙයි. 

දැන් දැන් අහස දිහා බලද්දී මට දැනෙන හැඟීම්  බලාපොරොත්​තු හරිම වෙනස්.  ඒ අහස ඒ තරු දිහා බලාගෙන ඉද්දි මට මතක් වෙන්නෙම මයුරි ගෙ ඒ කතා කරන ඇස්.  ඒ දිහා බලාගෙම  ඕන තරම් මට කවි ගොතන්න පුළුවන්. 

මේත්  ඒවගේ වෙලාවක  මට සිහිවුන කල්පනාවක් තමයි.


 සඳුගේ සිසිල ලැබ තරු පෙළ රඟන         විට 

සිහිවේ නුඹගෙ දෙනයන ටික  කලෙක     සිට 

තැවුලේ කිමිඳි හදගැබ දුක සුසුම            යට 

සිතුසේ විඳිනු ඇත ඔබ ලැබු දිනෙක       හෙට 

~~ ලියෝනි අමරතුංග ~~

~*~*~*~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

No comments:

Post a Comment

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.