Wednesday, November 26, 2025

ඔබ මගෙ මා ඔබෙ



ඔබ දුටු මුල් දින අප නෙතු,  හමුවී පැවසූ රහසකි, හරි                නුහුරූ
ලැබු සෙනෙහස මහමෙර ලෙස, දැනුනිය කුළුදුල් හදගැබ, මත   සොඳුරූ
බැඳ රතැඟිලි රන් හුයකින්,  පෝරුව මත ඉඳ පාවඩ, බිම            ඇතිරූ
සිඳ බිඳ සංකා හිනැහෙනු, මියුලැස ඇතිදෝ මට ලොව, තව         කවුරූ
 
දිගු නෙතු දේදුනු පරදන, දෙබැමද එක්කල බැල්මෙහි, ඇත          සිරියක්
සිකිපිල බඳු දිගු වරලස,  පීරා පිට මැදට හෙලා,  දෙන                එළියක්
බඳ නළවා පියවර තැබු, සඳ සිහිවිය සුරපුරයෙහි,  දිව              අඟනක්
ඔබ මගෙ මා ඔබෙ නැත එහි, වෙනසක් ලැබුවෙමි නොඉඳුල්, නව  දිවියක්
 
(අනවුදඬු විරිත ඇසුරෙන්)

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, November 19, 2025

දෝණි 16

 කවි කතාව



පසුගිය කොටසෙන්.................


දාරක සෙනෙහෙ එන හදවත දෙකට       පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට         වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින                 දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි      යලී

16 (අවසන් කොටස)  


දිවියට ලැබුනු සම්පත ඉර වගෙම            සඳ
වැඩිහිටි දෙදෙන සිරි ලක තනි කෙරුණු    සඳ
විකසිත සිහිනයක නිසි පල මුසුවු           තෙද
බබළන අනාවක පැතුමෙන් පිරුණි           හද

දවසක මෙහෙය අහවර කර හිරු        රජිදා
පිවිසිය සිඳු ගැඹර වෙත තම දිවි          පරදා
සෙවනැළි සැඟව යනු පෙර හරසර      අයැදා
තරුපති රජවුණිය ගණදුර සිඳ            බිඳදා



මව පිය ගම නිවස තුල ඇත             තනිවීලා
පැද යයි ඉසුඹු විය දුක තුට              මුසුවීලා
යහ ගුණ සපිරි ගැමි සහයට           පැමිණීලා
යන එන මඟද වපුරයි ගුණ            හිනැහීලා

කවි සාගරයෙ පිහිනුව ඔබ සැමට          තුති
ගුණ'ගුණ සපිරි නෙක පැසසුම් එමට     ඇති
පමණට වදන් මා හදවත තුල         නොමැති
බැවියෙන රකිමි මුතුදම හද පතුලෙ       නිති

ගගනෙහි වළාකුළු සිපගෙන ගිය          පෙරට
අභිනව පුන්චි පවුලේ තතු ඔබ              සැමට
ගෙනෙනට සිතා දිවයුරු දුටු පිණි          ලෙසට
සැඟවෙමි අදට දෙවි රැකවරණයි          ඔබට





   💘      ඉතින් සමුගන්න දෙන්න අවසර ......


  💘   මා විසින් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන ලද "දෝණි" කවි කතාව මෙසේ නිමා කරමි.  මොවුන්  පිටරට ගෙවන දිවියේ රස තොරතුරු ද රැගෙන මතු දිනෙක යලි හමුවෙන බලාපොරොත්තුවක් ද හිත තුළ තැන්පත් වී ඇති සැටියකි.

 
  💘  මගේ කවි කතාව රස විඳිමින් මෙතක් මා හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි. 



 💘 කමෙන්ට්ස්, ලයික් දමමින් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගනිමින් මා දිරිමත් කල ...., 

                    ඔබ සැමට ස්තුතියි හදවතින් ම .  🙏

~~ මම ලියෝනි අමරතුංග ~~

 2025 වසර නොවැම්බර්  මස 19 දින.
කැනඩාවේ සිට. 

~~~~~~



👈 15 කොටසට

👈 මුල සිටම කියවමු ද - 1 කොටසට 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Tuesday, November 11, 2025

දෝණි 15

 කවි කතාව



පසුගිය කොටසෙන්.................


පුබුදා කුසුම් සහසක් හද විල්              තලයේ
සපුරා සියලු පියවර බල                 පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින්          රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින්             හිටියේ

15 කොටස  

ඉවසනු හද කෙලෙස මතු දින  තම       දරුවන්
සමුගෙන යනු ඇතිය බොඳ කරමින     දෙනුවන්
එනමුදු කිසි දිනෙක  අහිතක් හිත         රඳවන්
වෙනතක නොයා පැතුවය රැකවල     තෙරුවන්

සියළුම සිහින ඉටුවීලා දෙන                  සතුට
පියඹන දිනය එළඹිය සයුරෙනි              එපිට
හැදු වැඩු මව පිය ද ගම පාසැල            දැයට
සමුදිය යුතුව ඇත පෙර සැලසුම          ලෙසට



සියොතුනි සැරි සරන ගුවනේ රුවට        රුවේ
දැනුනිද ගත දැවටි සිහිලැල් මිහිර        ලොවේ
විඳිනට සතුට නිම නොවනා මෙ මනු       භවේ
එනු මැන රැගෙන මුදු හසරැල් නොමද    සුවේ

මිණිපිරි තුරුළු කරගෙන සුරඟනක         බඳූ
සියුමැලි වතට බර වී හද සිසිල              සැදූ
වැළපෙන මොහොත ගිගුරුම් දෙන අහස  බදූ
සමුගත යුතුව ඇත පිසිමින කඳුළු            බිදූ

දාරක සෙනෙහෙ එන හදවත දෙකට       පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට         වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින                 දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි      යලී



මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 14 කොටසට

👉 16 කොටසට - අවසන් කොටස.


~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, November 5, 2025

දෝණි 14

  කවි කතාව


පසුගිය කොටසෙන්.................

කොටසකි වත්කමෙන් දැවුනේ අධි        මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු           දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ         හනික
ගුවනට මුසු කලේ හද බැති බර          ලෙසක


14 කොටස  

බරකින් මිදී නිදහස නිසි                විදින්නටයි
සුරතල්  දැරිය සමඟින කල         ගෙවන්නටයි
මුදලින් තිබෙන මදි පාඩුද           සොයන්නටයි
සිතමින් සැරසුනේ සවුදිය              පුරන්නටයි



නෑඹුල් දෝණි ටික ටික බස            හසුරන්නේ
'අම්මා' නොව 'මමී' කියලයි            අමතන්නේ
බෑනගෙ දුවගෙ නව සිතුවිලි            දළුලන්නේ
සීයයි ආච්චිගෙ හදවත                 කකියන්නේ

සියුමැලි දෙපා ඔසවා පිය නඟන               සඳ
නව ආරෙකට තෙපලයි කිරි සිනහ           මැද
'නොදොඩනු අම්මෙ හෙළ බස' දුව අසල    හිඳ
පැනවෙයි අණක් හද තුට හීයකිනි              විද

සිය දහසකිය පැතුමන් හදතුල              විසිරූ
ගුණ නැණ අමා දහරද යන මඟ           ඇතිරූ
මතු දින ලොවක් දිනනට හැකි යස         ඉසුරූ
ගොනු කල දෙමාපිය පසෙකට ගිය          අයුරූ

පුබුදා කුසුම් සහසක් හද විල්               තලයේ
සපුරා සියලු පියවර බල                 පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින්          රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින්             හිටියේ


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 13 කොටසට

👉 15 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.