Friday, January 28, 2022

අලුත ගෙනා මනමාලි 3

 කවි කතාව

 

 

පසුගිය කොටසෙන්.................

   මනමාලයෝ දැන් නිතරම             එනයන්නේ    
   සමහර අයට නැත රුචියක්       ඇතිවෙන්නේ    
තව ටික දෙනෙකු මගෙ හිත තුල රජවෙන්නේ
ඔවුනගෙ සිතැඟි පවසන තුරු     ලතවෙන්නේ


3 කොටස  

අවසන කොහොම හරි පවුලට       ගැලපෙන්න
කොලුවෙකු හොයා ගත්තා නොවැ    බැඳගන්න
මඟුලද තීන්දුයි වැඩි කල               නැහැඔන්න
සිතයට රැඳුන බිය, තුට ගති          කැලතෙන්න

ගෙදරට හිටපු ආදර බර එකම               කොලූ
සැමදෙන ගැනද බොහො අදරින සොයල   බැලූ
නිමවන හැඩයි හද ශෝකය කඳුළු             සැලූ
පුබුදින සතුට මෙනි තුරු හිස නැගෙන         දලූ

අතටද පයට වැඩ කරුවන් ඇත         බොහොම
පනවන අණට කන දෙනවලු එහි          සැවොම
දනටද පිනට ලැදි ලොව අනියත               දහම
සපිරුණ තවත් කිසිවෙකු සොයනුයෙ  කොහොම

පියතුම බොහොම අවිහින්සක පෙනුම      ගෙන
පසුවන අතර බිරිඳයි බලකනුව                හෙන
ගෙදරද අපෙත් නැත වෙනසක් මෙයට      වෙන
නිරතුරු මවගෙ කීමට සැම දිනුම             දෙන

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


👈 2 කොටසට

👉 4 කොටසට

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, January 21, 2022

අලුත ගෙනා මනමාලි 2

 

 කවි කතාව

 

 

පසුගිය කොටසෙන්.................

මව හා පියා කුඹුරේ වැඩ වලට                යති
එනිසා ගෙදර අනිතුත් දේ කරනු              ඇති
හිටියා කෙනෙකු සහයට අප වටම           එති
'මැණිකා' කියා හැමදෙන  ඇමතුවේ         නිති


2 කොටස  

කරුමය මගේ පල දී ගෙන ආපු             ඔතා
පෙරමඟ බලා ඉමි එනතුරු කෙනෙකු     පතා
කපුවට මුදල් දී රහසින කෙරුණු          කතා
කොලුවෙකු ගැනයි යහපත් ගති පිරුණු  ඉතා

         මට මෙම නිවස තුළ ඇති වැඩපල       නුහුරු         
දිවි මඟ හැඩට ඉන්නට තුන්සිත           පැවරු
   කපු මහතාට පැවසුවෙ  බොරුවකි       රුදුරු  
හමුවෙන තුරුයි ගැලපෙන ගැටයෙකු සොඳුරු

එක එක සාරි ඇඳ හෙප්පුව            අරගත්තා
මවුනට මුවා වී එන අය                 පිළිගත්තා
රහසින ඔවුනගේ වත ගොත          අහගත්තා
මනසින කැමති අකමැති බව        මැනගත්තා

    මනමාලයෝ දැන් නිතරම             එනයන්නේ    
     සමහර අයට නැත රුචියක්        ඇතිවෙන්නේ    
තව ටික දෙනෙකු මගෙ හිත තුල රජවෙන්නේ
ඔවුනගෙ සිතැඟි පවසන තුරු     ලතවෙන්නේ

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


👈 1 කොටසට

👉 3 කොටසට

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, January 14, 2022

අලුත ගෙනා මනමාලි 1

 

 කවි කතාව

 


1 කොටස 

ගොඩ මඩ අත මිටද යහමින් ඇති       ගෙදර
සිටි එක කෙල්ල වෙමි මැකු නිවසෙහි     අඳුර
නිමකර සිප් සතර කල ගතවන            අතර
පවසනු කොහොම හද පෙළු පාලුව       මිතුර

සැම අමතන්නෙ ආදර සුදු බේබි            නමින්
නැත යොදවන්නෙ දෙයකට හිත ඕන    කමින්
දිවි සරසන්නෙ මව හා පිය බෝම        පෙමින්
දින වියැකෙන්නෙ නිවසට වී කාලෙ       කමින්

මට දැන් වයස තිස් තුනකුයි          පසුවන්නේ
සුදු කෙස් ගසුත් එක දෙක හිස       මතුවන්නේ
"හැකි ඉක්මනින් හොඳ සැමියෙකු  ලැබගන්නේ"
යනුවෙන් යහලුවන් නිතරම            පවසන්නේ

මව හා පියා කුඹුරේ වැඩ වලට                යති
එනිසා ගෙදර අනිතුත් දේ කරනු              ඇති
හිටියා කෙනෙකු සහයට අප වටම           එති
'මැණිකා' කියා හැමදෙන  ඇමතුවේ         නිති


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👉 2 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, January 12, 2022

අලුත ගෙනා මනමාලි

 "සුදු බේබි....."

 "ඇයි මැණිකා "

ඒ අපේ ගෙදර වැඩට ඉන්න මැණිකා.
හැමෝම මට කිව්වේ "සුදු බේබි" කියලා.  මම අපේ ගෙදර එකම දරුවා.  අම්මා තාත්තාගේ ආදරය නොඅඩුව ලැබුන මට වෙනත් ආදරයක් ගැන හිතන්න වත් වෙලාවක් තිබුනේ නෑ.  වැඩිදුර ඉගෙනගන්න උනත් මගේ ඒ තරම්ම ආසාවක් උනන්දුවක් තිබ්බෙත් නෑ. දන්නවාද ඒකට හේතුව. මහන්සිවෙලා ඉගෙනගත්තා කියලා මට අමුතුවෙන් ලබාගන්න දෙයක් මේ ලෝකෙ ඉතිරුවෙලා නෑ කියලයි මට හැම වෙලේම හිතුනේ. මව් පිය උරුමයෙන් ගොඩ මඩ සැම දෙයක්ම මට තිබුනා. ගෙදර හුරතලයට හැදුන මගේ ජීවිත කතාව ඉතිරි ටික මම කිවියෙන්ම ඉදිරිපත් කරන්නම්. කියවලාම රස විඳින්න කෝ එහෙනම්.


මතු සම්බන්ධයි ...

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~

👉 1 කොටසට -

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


Wednesday, January 5, 2022

කෝල සිතුවිලි

 


කෝල සිතුවිලි

කෝල රැයකට පාර කියනා සොඳුරු සිහිනෙක  පැටලිලා
   පීදි කඩුපුල මතෙහි පිණි බිඳු අතර සිටියෙමි     සැඟවිලා   
      පාව එමි ගන අඳුර බිඳගෙන සිනිඳු කුළකිනි      සැරසිලා      
කාට පුදමිද නුඹ​ට බැඳි පෙම ඉඳිමු අපි නිති      සැනසිලා

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.