Saturday, February 28, 2026

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා 5

" ....... ට්‍රී ....... ට්‍රීන් ......... ට්‍රීන් ....."

* සුදු බේබි මෙන්න ටෙලිෆෝන් එක නාද වෙනවා....

** අනේ ඔව් මයි. වෙන කල්පනාවක හිටිය නිසා මට ඇහුනෙවත් නෑ.... ඉන්නකෝ මම බලන්න

මැණිකා කිව්වාට පස්සෙයි මම දුවල ගිහින් ටෙලි ෆෝන් එක ඉස්සුවේ .. කව්ද මේ අවේලාවේ  කතා කරන්නේ කියලා කුතුහලයෙන් ..

දුරකතනයේ එහා පැත්තෙන් ඇහුනේ නාඳුනන පිරිමි කට හඬක්.  කව්ද මේ..?  මොකටද මට කතා කරන්නේ....?  කොහෙන්ද මගේ අංකය හොයා ගත්තේ....?  

මගේ හිතේ තිබුනේ ප්‍රශ්න වැලක්...  

මේ මිස් සුභානි ද කතා කරන්නේ...... ? කල්පනාවෙන් හිටපු මම  ආයෙමත් එහා පැත්තෙන් ඇහුන හඬට තිගැස්සුනා .... ඔ...ඔව්... මම සුභානි.... ක .... ක..  කව්ද  මේ..... මගේ හිතේ අමුතුම භයක් වගේ දෙයක් තෙරපෙන්න ගත්තා. ඒ මොකද කියලා වත් හිතාගන්න බැරුව මම ගල් ගැහිලා වගේ ෆෝන් එක කනේ තියාගෙන හිටියේ. 

මිස්... මම මේ කතා ක‍රන්නේ..... රත්මලාන පොලිසියෙන් ....  

ඇත්තටම මට ඇහුනේ එච්චරයි. ඊට පස්සේ එහා පැත්තෙන්  තව  මොන මොනවදෝ කියාගෙන ගියා මතකයි. මම පියවි සිහියට එනවිට  මම හිටියේ මගේ කාමරේ ඇඳ උඩ.  සුපුරුදු පරිදි මගේ තනියට හිටපු මැණිකා මා එක්කම හිටියා.

   " දැන් ඉතින් හිත හදාගන්න උත්සාහ කරන්න අපේ සුදු බේබි .... "

දෙවියනේ... මම මේ දකින්නේ හීනයක් ද? මම මේ ලෝකේ දෙමව්පියන්ට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු කෙනා, මගේ මුළු ජිවිතයම බාරදෙන්න සිහින බලපු එයා.. හදිසි අනතුරකට මුහුණ දීල... දෙවියනේ.... මම කොහොමද මේ දුක දරාගන්නේ...... මේ විදිහට මාව දාල යන්නේ නැතිව, රෝද පුටුවක හරි ඔයා හිටියා නම් මම පොඩි දරුවෙක් ව බලාගන්නවා වගේ ඔයාව ආදරෙන් බලා ගන්නවා. ... ඇයි එහෙම වත් මා ළඟට වෙලා ඉන්න හිතුනෙ නැත්තේ ඔයාට...... මම මගෙන්ම ප්‍රශ්න කරන්න පටන් ගත්තා.  කොහෙන් උනන උණු කඳුළුද මන්ද දෑස් වල ඉවුරු බිඳගෙන මේ විදිහට කම්මුල් දිගේ ගලා යන්නේ කියලා මටම හිතාගන්න බෑ. 

* "බේබිගෙ අම්මයි අප්පච්චියි මඟ එනවා කිව්වා.  කලබල නැතිව ඉන්නකෝ බේබි. " මගේ ළඟ හිටපු මැණිකා හැකි හැම විදිහටම මව සනසන්න ලොකු උත්සාහයක යෙදෙනවා. 

අනේ මම දැන් මොකද කරන්නේ මැණිකා ... ඇයි මම විතරක් තවත් ජීවිත් වෙන්නේ.  .....

අපි දෙන්නා මුණ ගැහුනේ අහම්බෙන් වගේ. චුටි අක්කගේ මඟුල් ගෙදරදී. එයා දෙවෙනි මනමාලයා.  එයාගේ ලඟට වෙලා කිසිම හැඟීමක් නැතිව හිනාවෙලා හිටපු දෙවෙනි මනමාලි මම.  අපි කවදාවත්ම හිතුවේ නෑ මේ හමුවීම අපේ ජීවිතවලටත් සුබ පණිවිඩයක් ගෙනෙයි කියලා. එත් චූටි අක්කගේ මඟුලෙන්  මාසෙකට විතර පස්සේ අහම්බෙන් වගේ එයාව මුණ ගැහිලා අවසානයේ අපි පෙම්වතුන් බවට පත් වුනේ කිසිම දවසක, කිසිම කෙනෙකු නො හිතපු විදිහට. 

එදා සිට පන්සලට යන හැම දවසකම මට පතන්න තිබුනේ එකම එක පැතුමයි. මම හිතුවෙම අපි  හමුවුනේ පෙර පිනකින් කියලා. ඔයා තරම් කවදාවත් කවුරුවත් මට මේ තරම් ආදරයක් දෙන එකක් නෑ කියලා මයි මට හිතුනෙ.  ඒ තරමටම මම ඒ ආදරෙන් වියරු වැටිලා හිටියේ.  සදාතනිකවම ඒ හදවතේ ලැඟුම් ගන්න ඒ හදවත අයිති කරගන්න මම පෙරුමන් පිරුවා. 

මගේ ඒ පැතුමන් ඔයාට නොදැනුනාවත් ද මගේ  සුදු මහත්තයා... කාගෙන් අහලාද ඔයා මේ විදිහට ජිවිතේ අතර මඟ මාව අතහැරලා යන්න තීරණය කලේ.  ... කියන්න..... මට කියන්න ... මම ඔයාට ආදරේ කල තරමට ඔයා මට ආදරය කලේ නැද්ද දෙවියනේ.... ? ... නිකමට වත් ඔයා හිතුවාද ඔයා නැතිව තනිවම මම කොහොමද ජිවිතේ ඉතිරි ටික ගෙවන්නේ කියලා. 

තොල්පෙති තදකරගෙන යාන්තමට හිනාවේගෙන නිසොල්මනේ ගේ මැද සාලේ වැතිරිලා ඉන්න ඔයා දිහා බලාගෙන මට පතන්න තිබුනේ එකම එක දෙයයි.  හැකි ඉක්මනින් මාවත් ඔයාගේ ළඟට ගන්න කියල විතරයි. 

එදා පන්සල් ගියා පෙරුමන් පුරා නුඹවම          ලබන්න

සිතා ගනු බැරි හදේ කුළුදුල් සෙනෙහසේ සුව    විදින්න

සදාතනිකව අයිති කරගෙන ලොවේ දිගුකල  රැදෙන්න 

පුදා නෙලු මල පැතූ පැතුමන් නොදැනුනිද මට  කියන්න

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, February 21, 2026

අපි අපේ ය - (ශනිදා දහයට)

යුව රජිදෙකු  වගේ ය,       මන    බැඳේ ය

නිති සුවදෙන රඟේ ය,       සිත    සැදේ ය

දින දින රස නැගේ ය,       දුක    සිඳේ  ය 

සැම කල නුඹ මගේ ය,      තුට   රැඳේ  ය 

සකුණ ගෙ හඬ ඇසේ ය,     මල   පිපේ  ය

සුබ මහ වැසි    ඉසේ ය,     නිති   ඕපේ   ය 

දිවි තොරතුරු   එසේ ය,    මම    සැපේ ය 

බැඳි පෙම පෙරලෙසේ ය,     අපි    අපේ  ය 

(ගජ ඡන්දස - සක්වා විරිත, ඇසුරෙන් )

විරිත හැඳින්වීම 
මාත්‍රා 16 කි.
මාත්‍රා 7 න් පසුව ගුරු අකුරක් හා ලඝු අකුරක් ද ඉන්පසු යතිය හා එළිසමය ද පිහිටුවා නැවත මාත්‍රා 3 කින් පසුව ගුරු අකුරක් සහ ලඝු අකුරකින් ද පසු පාදාන්තයේ යතිය තැබිය යුතුයි .
එළිසම ස්ථාන දෙකම " ය " කාරයෙන්   අවසන්  කිරීම සම්ප්‍රදායකි

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Thursday, February 12, 2026

පෑව සිනා හීන වගේ

පෑව සිනා හීන වගේ

යාය දිගේ
ගාට එනා 
නෑන මගේ
නෑනෙ මෙදා 

කෝල වෙවී 
මාගෙ දිහා
පෑව සිනා
තාම මැවේ

චාටු කතා 
කීව  ගොතා 
යාය පුරා
තාම ඇසේ 

බාලෙ දෙඩූ 
ප්‍රේම කතා 
මාගෙ හිතේ 
තාම තියේ 

හේනෙ පැලේ
මූණ බලා
කීව කතා
හීන වගේ

දීග ගියා
මාව දමා
වාව ගමී
කෝම කෙසේ

(ප්‍රතිෂ්ඨා  ඡන්දස - සුමුඛී  විරිත.)

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Wednesday, February 4, 2026

සුසුම් රැළි

සුසුම් රැළි

හොර රහසෙ සැඟව සිට        පපුතුරේ
දුක කඳුළ හා මුසුව               දිගහැරේ
මද පවන් පොදක නැග          නිරතුරේ
 සැරි සරයි දස අතෙහි            සුමිතුරේ 

පෙළන විට සිත දවන           සිතිවිල්ල
මතුව එයි නෙතු පොඟන      කඳුලැල්ල
නගනු කිම දුක සමඟ           මැසිවිල්ල
නුඹය මා සතු එකම            සැනසිල්ල

නොදැක සැනසෙමි කෙලෙ​ස හිනැහිලා
හිඳිනු මැන හද ලෙනෙහි       සැතපිලා
ඉඳල හිට කනට කර           කොඳුරලා
කියනු බැඳි සෙනෙහෙ ඇති    සැඟවිලා

( ගජ ඦන්දස - සදොල්කෙළි විරිත ඇසුරෙන් )

~~ ලියෝනි අමරතුංග ~~

~*~*~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

Sunday, February 1, 2026

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා 4

මම බොහොම අමාරුවෙන් ජිවිතේ දිනාගන්න ​ඇප කැප වෙලා වැඩ කරපු කෙනෙක්. 

මට අද වගේ මතකයි මම පුංචි කාලෙම මගේ තාත්තා අපිව දාල ගිය දවසේ අපේ අම්මා මාවයි මගේ මල්ලිවයි තුරුළු කරගෙන විලාප තිය තිය හඬපු හැටි. එතකොට මට යාන්තම් අවුරුදු දහය පිරුනා විතරයි. මල්ලි නම් අවුරුදු 6 ක විතර පොඩි එකා මේ කිසිම දෙයක් මතක නැතුව ඇති. 

එත් අම්මගේ ඒ වැළපීම හැමදාටම තිබුනෙ නෑ.  දවසයි දෙකයි. ඊට පස්සේ අපේ අම්ම තේරුම් ගත්තා වෙන්න ඕනේ, ජීවිතය මෙතනින් නිම වෙන්නෙ නෑ අපි තුන්දෙනා තව ඉස්සරහට ගමන් කල යුතුයි කියලා. හැබැයි ඉතින් මේක අපේ අම්ම තනියම තේරුම් ගත්තාද නැතිනම් වෙනයම් කවුරුන් හෝ ඇයට තේරුම් කර දුන්නාද කියන්න තරම් මගේ පොඩි හිතට තේරුමක් තිබුනේ නෑ. 

අන්තිමට ගෙවල් ගානේ ගිහිල්ලා උයලා පිහලා දිල හරි ඒ ලැබෙන පඩියකින් අපිට දිගටම උගන්වලා රටේ හොඳ තැනකට ගන්න ඕනෙ නේද කියන හැඟීමෙන් තමයි අම්මා හැමවිටම වැඩ කලේ. 

ඇය ඒ වින්ද දුක මට හොඳටම තේරුණ නිසා වෙන්න ඇති මමත් උත්සාහවන්ත වෙලා ජිවිතේ දිනන්න ඕනේ කියන පරමාර්ථයෙන් වැඩ කරන්න පටන් ගත්තේ.  

එදා ඒ පටන්ගත්ත තරඟය මම අවසන් කලේ සරසවි යෙනුත් පිට වෙලා බැංකුවේ රැකියාවටත් ගියාට පස්සෙ​යි.  

මෙතෙක් මගේ ලෝකෙ වීරයා උනේ මගේ අම්ම. අපේ පුංචි කැදැල්ලේ හිටියේ මමයි අම්මයි මල්ලියි විතරයි.  ඒ ඇරෙන්න වෙන කිසිම හදවතකට ලං වෙන්න මට උවමනා කලේ නෑ. මල්ලිටත් එහෙමයි.  ඉතින් අපි ඔහොම සතුටින් ඉන්නකොට තමයි මගේ අම්මා සදහටම අපි දෙන්නාගෙන් සමුගත්තේ. අපි දෙන්නාගේ සතුට වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා මේ තැනට අපිව ගෙන්න ඇප කැප වෙලා වැඩ කරපු අම්මාට සලකාගන්න ලැබුනේ පුංචි කාලයයි. රැකියාව ලැබුනාට පස්සේ ටිකෙන් ටික අම්මා ව මේ කරදර වලින් නිදහස් කරලා පොඩි ගේ කෑල්ලකුත් හදාගෙන ජිවිතේ පටන් ගන්න හිතුවා විතරමයි වගේ. ඒ දුක නම් කියන්න වචන හොයා ගන්න බෑ. ඒකට මම දැන උගත් ශිල්පය මදි තරම්.  

අම්මගෙ මළගමට අපු සෙනඟ අතරින් සරසවියේ නිතරම මා දෙස බලා හිටිය ඒ නි​ල් තරු මුතු  ඇස් දෙක ආයෙම මතු උනා.  

~ * ~

*කොහොමද  කල්ප  ජිවිතේ 

**හොඳින් ඉන්නවා මයුරි ... ඔයා .... කොහෙද මොනාද දැන් කරන්නේ 

* මම ටීචින් ..  ලබන මාසේ ඉඳලා ඔයාලගේ ගමේ ඉස්කෝලෙ ...

**ආනේ එහෙමද... මම දැනගෙන හිටියෙ නෑ නෙ. 

* ඔයා නොදන්නා  තව ගොඩාක් දේවල් තියෙනවා  කල්ප ..  ඔයා දන්නවාද දන්නේ නෑ මම ඔයා ගෙ පිටිපස්සේ සෙවනැල්ල වගේ ආව කියලා 

** කොහොම දැනගන්නද මට අම්මගෙන් හා මල්ලිගෙන් තොර ලෝකයක් ගැන හිතන්න ඒ කාලේ ඒ තරම්ම කාලයක් තිබුනේ නෑනේ මයුරි. 

* ඒක මම දන්නවා. ඒ නිසාම තමා මම කවදාවත් ඔයා ට ලංවෙන්න වත් හිතුවේ නැත්තේ. ඒත් ඔයා ගැන හැම දේම දැනගන්න මට එදා ඉදලාම උදව් උනේ සුනෙත්. එයා මගේ නැන්දගේ පුතෙක්.

** ආ.... මේ අපේ සුනෙතා ....

* හ්ම් .....     ඉතින් සුනෙත් මල්ලි වෙලාවක ඔයාට කතා කරයි  මේ වැඩටික ඉවර වුනාට පස්සේ.  

** හ්ම්... ඔව් මේ දිනවල සුනෙත් මට හරියට උදව් කරනවා මේ වැඩ වලට. 

හත්දොහේ දානෙත් පහුවෙලා ටික දවසක් යද්දී තමා සුනෙත් ගෙන් මේ හැමදේම මට දැනගන්න පුළුවන් උනේ. 

ඉස්සර ඉදන්ම මගේ පුරුද්දක් තමයි සවස් යාමයේ අහස දිහා බලාගෙන තරු ගනින එක. අම්මා පුංචි කාලේ අපි දෙන්නට බත් කැව්වේ එහෙමයි.  හදවතේ අම්මා නැති පාළුව මකන්න මගේ ලෝකෙට පායපු තරුව මයුරි ද කියලාත් මට වෙලාවකට හිතෙනවා.  ඒ හිත ගැන මගේ හිතෙත් යම් ආලවන්ත කමක් නැතිවාම නෙමෙයි. 

දැන් දැන් අහස දිහා බලද්දී මට දැනෙන හැඟීම්  බලාපොරොත්​තු හරිම වෙනස්.  ඒ අහස ඒ තරු දිහා බලාගෙන ඉද්දි මට මතක් වෙන්නෙම මයුරි ගෙ ඒ කතා කරන ඇස්.  ඒ දිහා බලාගෙම  ඕන තරම් මට කවි ගොතන්න පුළුවන්. 

මේත්  ඒවගේ වෙලාවක  මට සිහිවුන කල්පනාවක් තමයි.

 සඳුගේ සිසිල ලැබ තරු පෙළ රඟන         විට 

සිහිවේ නුඹගෙ දෙනයන ටික  කලෙක     සිට 

තැවුලේ කිමිඳි හදගැබ දුක සුසුම            යට 

සිතුසේ විඳිනු ඇත ඔබ ලැබු දිනෙක       හෙට 

~~ ලියෝනි අමරතුංග ~~

~*~*~*~