කවි කතාව
පසුගිය කොටසෙන්.................
දුවගෙද සිතෙහි මේ ගැන පැහැදුමක් ඇති
පිටරට සිහිනයක තුන් සිත තුටින් එති
සැමියගෙ බසට නිතැතින් හිස නැමෙයි සිති
අසරණ මව පියගෙ හදගැබ රිදුම් දෙති
9 කොටස
මෙහි ඇති කිසිඳු වරදක් පහදනු හැකිද
දින දින ඉහළ නැඟුමට බැඳි ලොබ නොවෙද
පවුලට සිටි එකම දරුවගෙ ගුණ සුවඳ
නොමැතිව ගෙවන දිවියක් ම'පියට කොහෙද
අපමණ වෙහෙස ගෙන තොරතුරු ගොනු කරපු
අයදුම් පතකි රැය නිදි වරමින බලපු
ලිය කියවිලිද මිටියකි රිසි ලෙස තනපු
සිය දහසකිය සුසුමන් ඉඳ හිට හෙලපු
තරණය කරන කල දිවි සතුටින සිත්සේ
අහරය අරුචි විය හිස ඇම්මකි තිස්සේ
දවසෙම අලස ගති පා නිදියන රිස්සේ
ලෙඩවිය ඔහුගෙ ඇඹෙණිය සිතිවිලි ගැස්සේ
දැනි එම නුහුරු හැඟුමින් බිය වැදුණු සඳ
ගෙන එන ලදිය නිවසට මහතාව වෙද
ඇසු එම පුවත සැල කෙරුමට නොමැත පද
නුදුරෙම කිරි සිනහ උතුරයි නිවසෙ මැද
තැබුනිය විරාමය සිහිනෙට යන නොරට
සොයනට යෙදුනෙ බිරිඳ ගෙ දුක සැප සොඳට
පිබිඳුනි නෙක පැතුම් මහ මෙර ලෙස උසට
ලබනට දිවි විජය නුඋපන් හෙට දිනට
මතු සම්බන්ධයි......