කවි කතාව
පසුගිය කොටසෙන්.................
මදමුදු පවන රඟදෙයි තුරු හිස සිඹිමින්
නළලත කියඹු වැල් නළියයි කිති කවමින්
සැඟවුණ මතකයන් පිබිදෙයි රස මවමින්
සැතපෙයි හදවතේ ඇය සෙනෙහස විඳිමින්
3 කොටස
හින්නී සන්දියේ සිට දැන හඳුනන්නේ
ලන්දේ හේනෙ ඇය දුව පැන ඇවිදින්නේ
බැන්දූ මිතුරුදම ආලෙට පෙරලෙන්නේ
මන්දෝ ටිකිර බහ දෙනතුරු ලතැවෙන්නේ
දිනයෙක එදා අප්පච්චිට ඇඹුල බැඳන්
ගිය'යුරු පුංචි මල් ඉහිරුන රෙද්ද ඇඳන්
ගෙල බැඳි මුතු පොටේ හැඩරුව නෙතෙහි රඳන්
සුකොමළ බැලුම් හෙළු හැටි දුර ඈත ඉඳන්
කෙළි සෙල්ලමින් ගෙව් ඒ ඉමිහිරි බාලේ
වෙනුවට ඇතේ නෙතු යුග අයදින ආලේ
විළියක එතී හිනැහෙන දෙහදක සීලේ
බිඳිමින නුහුරු හැඟුමන් පිබිඳෙන ලීලේ
ටිකිරද නිතර ඇය දෙස හොරැහිනි බැලුවේ
සැමවිට දෙදෙන නෙතු කැල්මෙනි ඉඟි මැරුවේ
ගුවනට හදවතේ සුසුමන් මුසු කෙරුවේ
මෙලෙසයි සොඳුරු ආලයකට මුල පිරුවේ
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment