Saturday, August 22, 2026

යාය දිගේ - ශනිදා දහයට

 අලුත් යමක් 


මගෙ ආදර යහළු යෙහෙළියනි ..

හැමදාමත් මගේ සිතිවිලි මංපෙතේ කවි රසවිඳින  මගේ ආදරණිය හිත මිතුරන් ට අද වෙනස්ම විදිහේ දෙයක් ගෙන එන්න හිතුනා. තවත් අලුත් අත්දැකීමක් එක්ක තමයි අද ශනිදා දහයට මම ඔයාලගේ නිවහනට ගොඩවෙන්නේ.  ඉතින් බලන්නකෝ මගේ නිර්මාණය ඔබට දැනුනේ කොහොමද කියලා. 

මේ තියෙන්නේ මම මිට මාස කිහිපයකට කලින් බ්ලොග් අඩවියේ ශනිදා දහයට පලකල ප්‍රතිෂ්ඨා  ඡන්දසට අයත්  - සුමුඛී  විරිත ඇසුරෙන් නිර්මාණය කල කවියක්.  

අද එය ඔබ අතට පත් වෙන්නේ ගීතයක් ලෙසින්.  මෙය විඩාබර ඔබගේ අවිවේකී දිවියට යම් අස්වැසුමක් ලබා දේවි කියලා මට හිතුනා. එහෙනම් ඉතින් අහලාම බලලා මොනාම හරි දෙයක් කියන්නකෝ... හිත හැදෙන්නත් එක්කම 





~~~~~~~


පෑව සිනා හීන වගේ


යාය දිගේ
ගාට එනා 
නෑන මගේ
නෑනෙ මෙදා 

කෝල වෙවී 
මාගෙ දිහා
පෑව සිනා
තාම මැවේ

චාටු කතා 
කීව  ගොතා 
යාය පුරා
තාම ඇසේ 

බාලෙ දෙඩූ 
ප්‍රේම කතා 
මාගෙ හිතේ 
තාම තියේ 

හේනෙ පැලේ
මූණ බලා
කීව කතා
හීන වගේ

දීග ගියා
මාව දමා
වාව ගමී
කෝම කෙසේ

(ප්‍රතිෂ්ඨා  ඡන්දස - සුමුඛී  විරිත.)

විරිතේ ලක්ෂණ -
පාදයකට මාත්‍රා 6 යි  
බ ගණයක් සහ ගුරු අක්ෂරයකි.


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 
 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

14 comments:

  1. පළමුව, පදපෙල පුරා වචන ගාන දෙකක් හැටියට පවත්වා ගැනීම හා අරුත්බරව ගැලපීම ලේසි වැඩක් නෙවෙයි, එනමුත් ඒක විශිෂ්ටව කළමනාකරණය කර තියෙනවා.

    ගීතයේ තනුව හඬ පදපෙලට උපරිම සාධාරණයක් කරල තියෙනවා.

    විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ වටිනා ප්‍රතිචාරය ට. ඔව් ඔබ කිව්වා හරි. මේක මම ලේසියෙන් ලියූ කවියක් නෙමෙයි තමා. ටිකක් මහන්සි වෙන්න උනා. 🤭

      Delete
  2. මට මේ කවිය “අහිමි වූ ළමා පෙමක මතක ගීයක්” වගේ දැනෙනවා.

    විශාල උපමා හෝ දාර්ශනික අදහස් නැහැ. ඒ වෙනුවට යාය, හේන, පැල, සිනහව, චාටු කතා, ළමා ප්‍රේමය වගේ සරල දේවල් එකතු කරලා කවියා තමන්ගේ පරණ ලෝකය නැවත හදනවා.

    ඒ නිසා කවියේ ලොකුම ශක්තිය සරලකම.

    අවසානයේ ඉතිරි වෙන්නේ එකම හැඟීමක්:

    ඇය දීග ගියා.
    යාය එතැනම තිබුණා.
    හේනත් එතැනම තිබුණා.
    නමුත් ඒ හේනේ පැලේ කියපු ප්‍රේම කතා—
    කවියාගේ හිතේ තාමත් ජීවත් වෙනවා.

    මේක ගීයක් කරන්න ගියාම ලොකු වාසියක් තියෙනවා. පදවලට දැනටමත් තාලයක් තියෙනවා. “යාය දිගේ / ගාට එනා / නෑන මගේ / නෑනෙ මෙදා” කියන කොටස් ගීතයකට ඉතා පහසුවෙන් ගලා යන්න පුළුවන්.

    හැබැයි අභියෝගය තියෙන්නේ එතැනමයි. සංගීතය දානකොට පදවල තිබෙන මාත්‍රා හය සහ විරිතේ රිද්මය නැති නොකරගෙන, ඒ අතරින් ලස්සන තනුවක් හදන්න ඕනේ. වැඩිපුර ස්වර දිගු කළොත් හෝ අනවශ්‍ය තැන්වල වචන ඇදුවොත්, කවියේ මුල් ගීතමය රසය නැති වෙන්න පුළුවන්.
    කෙසේ නමුත් ඒ සියලු අභියෝග මැද ලස්සන ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මයියා. හොඳට කාල වේලව අරගෙන ඔබ මගේ ගීතය හා කවිය පිළිබඳ ඉතා අපූරුයි විග්‍රහයක් කර තිබෙනවා. විචාර ලියන්න ඔබ හරිම දක්ශයි කියලා නැවත වරක් මට කියා දුන්නා. මේක ඉතා කලාතුරකින් පිහිටන දක්ෂ කමක් කියලාමයි මම නම් විශ්වාස කරන්නේ. ඔබගේ කියුම් ඉතානිවැරදියි කියලා මට තේරුනේ බොහෝම නිවීසැනසිල්ලේ හිතාගෙන යනකොට තමයි.

      Delete
    2. ස්තුතියි ඔබේ අගය කිරීමට.

      ඇත්තටම මේ නිර්මාණය ගැන තව එක වැදගත් පැත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා. ඒ තමයි පදමාලාවත් සංගීත භාණ්ඩ තේරීමත් අතර තියෙන අපූරු වෙනස.

      මුල් කවිය ගත්තම ඒක සම්පූර්ණයෙන්ම අපේ ගැමි සංස්කෘතික පරිසරය එක්ක බැඳෙනවා. ඒ නිසා සාම්ප්‍රදායිකව බැලුවොත් මේකට නලාව, බටනලාව, තබ්ලාව වගේ පෙරදිග හෝ ගැමි සංගීතයට සමීප සංගීත භාණ්ඩ වඩාත් ගැළපෙයි කියලා හිතෙනවා.

      නමුත් අපූරු දේ තමයි, මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ ගිටාරය වැනි බටහිර සංගීත භාණ්ඩ ප්‍රධාන කරගෙන වීම.

      මුලින් බැලුවම ඒක පරස්පරයක් වගේ පෙනුණත්, ගීතය අහනකොට ඒ පරස්පරය අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙනස්ම රසයක් ඇති කරනවා.

      මට නම් ඒක ටිකක් ඇනස්ලි මාලේවන වගේ ගැමි සුන්දරත්වය සංගීතයෙන් මවපු පැරණි ගී රසය මතක් කරනවා.

      මේ ගීතයේ ලස්සන තියෙන්නේ ගැමි පදමාලාවක් සහ බටහිර සංගීත භාණ්ඩයක් අතර ඇති වූ ඒ අපූරු සංවාදයේ.

      ඔබ අපට ගමේ සුන්දරත්වය වචනවලින් මවා දෙනවා. සංගීතඥයා ඒ ගමට යන්නේ වෙනත් පාරකින්—ගිටාරයේ තත් හරහා.

      ඒ දෙක එකට එකතු වුණාම, අපිට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම පරණ ගීයක්වත්, සම්පූර්ණයෙන්ම නවීන ගීයක්වත් නොවෙයි. පරණ ගමේ මතකයක් නව සංගීත භාෂාවකින් නැවත ජීවමාන කළ ගීයක්.

      Delete
    3. ඔව් ඔබ හරි. ඒක ගැන මටත් මුලින්ම කල්පනා වුනා. මේකට බටනලාවක් වගේ දෙයක් යොදාගන්නා නම් ලස්සනයි කියලා. විඩියෝ එකත් මම එහෙම දෙයක් කරන්න හිතලා ආයෙම හිත වෙනස් කර ගත්තා මොකද මියුසික් එකේ බට නලාවක් නැති නිසා.
      ඉතින් විවිධ පැති හරහා ඔබ සියුම් ලෙස දක්වන ඒ ඇල්ම බැල්ම ගැන නම් කියන්න වචන නෑ. අතී විශිෂ්ට යි. බොහෝම ස්තූතියි ඔබට.

      Delete
  3. උත්සහය අගය කරනව 🎉
    මයෙ මනාපෙ කවියට... ❤️

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නමී සුපුරුදු ලෙන්ගතුකමින් මගේ නිවහනට පිවිසියාට. හැමදේටම වඩා ඔබ කැමති මගේ කවියට කියලා දැනගත්තා. මයියා කියූ පරිදි ඒ පදවලට දැනටමත් තාලයක් ඇති නිසා ගීයකින් කරන්න තරම් දෙයක් නෑ කියලා ඔබට හිතෙන්න ඇති.

      Delete
  4. තනුවයි ගීතයයි දෙකම නියමයි. AI වීඩියෝ එකත් ගැලපෙනවා . යුටියුබ් එකට වගේ දැම්මද ?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට. තනුවයි ගීතය යි වීඩියෝ එකයි හැම දෙයක් ගැනම කතා කරලා තිබුනා. මට සතුටුයි.

      Delete
  5. උත්සහය අගය කරනව 🎉
    මගෙත් මනාපෙ කවියට... x 2
    ❤️

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි බස්සා සුපුරුදු ලෙන්ගතුකමින් මගේ නිවහනට පිවිස සටහනක් තබා ගියාට.
      ඔබේ මනාපය කවියට බව දැනගත්තා. ඔව් අපි එකිනෙකා හිතන පතන විදිහ වෙනස්. ඔබේ මනාපය ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා 🙏

      Delete
  6. තනුව මිහිරියි. ගායන ශෛලියත් ගැළපෙනවා. පුංචි ගැටළු දෙකක් ඔලුවට වැටුනා අහගෙන ඉද්දී. ‘ගාට එනා‘ කියන තැන පොඩි කෘතිම ගතියක් දැනුනා. ඒ වගේම ‘කීව කතා‘ කියන තැන ‘කීව‘ කියන වචනය ශබ්ද කරන ආකාරය. වයන්න විවෘතව (open) නැතිව සංවෘතව (closed) කීවනම් නියම තේරුම එනවා වගේ දැනුනේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි Litseeker සුපුරුදු ලෙන්ගතුකමින් මගේ නිවහනට පිවිස සටහනක් තැබුවාට.
      ඔව් ඔබ කියන දේ හරි. එතන 'කීව කතා' කියන වචනය ( close) තමා ගයන්න ඕනේ. එතකොට තමා මම ලියපු කවියේ හරි තේරුම එන්නේ.

      Delete