Saturday, February 21, 2026

අපි අපේ ය - (ශනිදා දහයට)



යුව රජිදෙකු  වගේ ය,       මන    බැඳේ ය

නිති සුවදෙන රඟේ ය,       සිත    සැදේ ය

දින දින රස නැගේ ය,       දුක    සිඳේ  ය 

සැම කල නුඹ මගේ ය,      තුට   රැඳේ  ය 


සකුණ ගෙ හඬ ඇසේ ය,     මල   පිපේ  ය

සුබ මහ වැසි    ඉසේ ය,     නිති   ඕපේ   ය 

දිවි තොරතුරු   එසේ ය,    මම    සැපේ ය 

බැඳි පෙම පෙරලෙසේ ය,     අපි    අපේ  ය 

(ගජ ඡන්දස - සක්වා විරිත, ඇසුරෙන් )

විරිත හැඳින්වීම 
මාත්‍රා 16 කි.
මාත්‍රා 7 න් පසුව ගුරු අකුරක් හා ලඝු අකුරක් ද ඉන්පසු යතිය හා එළිසමය ද පිහිටුවා නැවත මාත්‍රා 3 කින් පසුව ගුරු අකුරක් සහ ලඝු අකුරකින් ද පසු පාදාන්තයේ යතිය තැබිය යුතුයි .
එළිසම ස්ථාන දෙකම " ය " කාරයෙන්   අවසන්  කිරීම සම්ප්‍රදායකි

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

18 comments:

  1. ලස්සනයි...
    අපි කොච්චර නිසදස් ලිව්වත් සඳැස් නං ලියන්න බෑ 😃😃😃

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ නිවහනට පැමිණ තබා ගිය සටහනට.
      ඔබ කියනවා වගේ සඳැස් ලියන්න නම් ටිකක් අමාරුයි තමා. ඒත් නිසදැස් වලත් අමුතුම කලාවක් තියෙනවා. ඒකත් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම කවදාවත් නිසදැස් ලියන්න උත්සාහ කරලා නෑ. මම හිතන්නේ මට ඒක බෑ.

      Delete
  2. විරිත, මාත්‍රා ,ගුරු ,ලඝු, යතිය සමඟ එළිසමය සිං ගාලා ඔලුවට උඩින් පියාඹලා ගියා ආයිබෝං. 🤔😁

    ReplyDelete
    Replies
    1. මෙන්න මම කවි කියල හිතාගෙන ලිව්ව එකක්. වැරදි පෙන්නව නං පිං 🙏

      ලෝකෙ පාලනේ කරනා සක් දෙයියා
      පඞුපුල් අසුනෙ ඇන්දක හිටගෙන හිටියා
      ඇහුවා මොකද? මේ රුයිතෙට හිටි හැටියා
      පුප තියන්න බෑ, වාගෙයි රොටි තැටියා

      Delete
    2. බොහොම ස්තුතියි මගේ නිවහනට පැමිණ තබා ගිය සටහනට.
      අනේ ... බසු මහත්තයෝ... මේවා ගැන එතරම් හිතන්න එපා. මට කීප දෙනෙක් කිව්වා විරිත ගැන විස්තරයකුත් කළා නම් ගොඩාක් හොඳයි කියලා. ඒකයි මම ඒ ගැන සදහනක් කලේ. ඒත් විරිතකට නැතිව උනත් කවි ලියන්න පුළුවන්.

      Delete
    3. ඔබ ගේ කවිය හොඳයි. බැලු බැල්මට එහි ඇති වැරැද්දක් නෑ. තාලයකට ගනන්නත් පුළුවන්. පොඩි පොඩි අඩුපාඩු ටිකක් තමා තියෙන්නේ. නිවාඩු වෙලාවක මගේ මැසෙන්ජර් එකට එන්නකෝ සඳැස් කවිය ගැන තව ටිකක් කියලා දෙන්නම්.

      Delete
    4. ඔබගේ අකමැත්තක් නැතිනම්, ඔබ ලියන කවි අපගේ මාසික විද්‍යුත් සඟරාවක් වන srilancan.ca එකට දමන්න මම කැමතියි. ඒ ගැන දැනුම් දෙන්න.

      Delete
    5. ගන්න, ගන්න ඕනෙ එකක් ගන්න, මගේ ලිපිවල කොපිරයිට්ස් නෑ. ක්‍රෙඩ්ට් දුන්නත්, නැතත් කමක් නෑ. අපිත් මේ අනුන් ගෙ ජීවිත කොපි කරල නෙව ලියන්නෙ? මගේ බ්ලොගෙ හෙඩිමට පහලින් උඩ තියනවා "බකුසු කවි" කියලා කැටගරියක්. මම ඒක අප්ඩේට් කරන්නං ආයෙ ලිව්වොත්. ස්තූතියි මේ උනන්දු කරවන පිළිතුරු ගැන. ආයෙ කවි පන්තියක් ලියන්න සලකා බලන්නම්.🙏👌

      Delete
    6. බොහොම ස්තුතියි.
      ඒව අපි උපුටාගෙන පල කරන්නේ ඔබෙම නමින් තමයි. දොරකොඩ ගහ, Ontario, Canada තියෙන්නෙ කොහෙද? කියලා කිව්වා නම් තව ටිකක් ලෙසියි මට.

      Delete
    7. නම් ගම් නැතත්, වෙබ් ඇඩ්‍රස් එක දානවට මනාපයි. දොරකඩ ගහ තියෙන්නෙ ස්කාබරෝ පැත්තෙ. DGM කියන්නෙ දොරකඩ ගහේ මූකලං කියන එක. 😁

      Delete
    8. බොහෝම ස්තුතියි. එහෙම දමන්නම්. ඉඳ හිට ඒ පැත්තේ ආවහම දොරකඩ ගහ කොහෙද බලන්නම් කෝ. මම ඉන්නේ හැමිල්ටන් වල

      Delete
  3. කියැවෙන අදහසට කවියේ රිද්මය හොඳින්ම ගැලපෙන වග දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ නිවහනට පැමිණ තබා ගිය සටහනට. ඔබ සවිය හැම වචනයක් මම විඳ ඇති බව වැටහුනා.

      Delete
  4. සකුණ කියන්නේ මොන සතාටද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ නිවහනට පැමිණ තැබූ සටහනට.
      සකුණ කියලා කියන්නේ පොදුවේ ගත් කල පක්ෂීයා කියන තේරුම. පොතේ හැටියට ලිහිණියා කෝකිලයා වගේ කුරුල්ලෙක් වෙන්නත් පුළුවන්.

      Delete
  5. අපූරුවට පද ගැට ගසා තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබ තුමාට සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩ බදුනාට

      Delete