Tuesday, January 27, 2026

නෙත් සර

 නෙත් සර

රෑ කල හේනට ගාටන         වේලේ
ඈ දැක පෑ හිත ආදර          තාලේ
කෝල සිනා පැටලී  නෙතු      දෑලේ
කීවෙ කතා බිඳ දා හද           සීලේ

ආවට භාදක නෑ පිටු             පෑවේ
නෑනගෙ ආලය මාහට            වූවේ
මී බිඳු වෑහෙන මල්බර           ජීවේ
සෝදුක නෑ හද පෙම් රස      යාවේ

සාරිය අන්දල පෝරුව        මත්තේ
දෑඟිලි බන්දල අෂ්ටක        නැත්තේ
රාගික නිල්මිණි නෙත් සර  මත්තේ
ආදර රන්කඳ ළංකර         ගත්තේ

( ගජ ඡන්දස -  තරඟවැල විරිත ඇසුරෙන්  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු.. 

බ ගණ තුණින් දෙ ගුරින්
බඳුයේ තරඟවැල නම්.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, January 23, 2026

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා 3

දුක සැප එකට බෙදාගෙන වේලක් හැර වේලක් කාල හරි, අපි අපේ ම ලෝකෙකට යමු කියලා එදා හිතට දැනුන මොකද්දෝ හැඟීමක් නිසා, අපි දෙන්නාම ගෙවල් වලටත් හොර රහසේම එක්තැන් වුනාට, ඒ ජිවිතේ හිතන තරම් ලේසි නෑ කියල අපි දෙන්නාටම දැනෙද්දී, ආපස්සට හැරෙන්න පුළුවන් තැනක නෙමෙයි අපි හිටියේ. 

ඒ වෙනකොට ත් අපි අම්ම තාත්ත වෙන ලකුණු පහල වෙලා තිබුනෙ.

අපි අතර කොච්චර අගහිග කම් තිබුනත් ඒ කිසිවක් ගැන ගතු නොකියා හැම විටම මුහුණේ සිනහවක් දරාගෙන ඔයා හිටියේ ඒ නොසැලෙන ආදරය නිසාම වෙන්න ඇති කියලයි මට හිතුනෙම.  ඒත්  දුක සැප බෙදාගෙන මගේ සෙවනැල්ල වගේ ඉන්න මා එක්ක ආපු ඔයාට  හැකි හැම සැප සම්පතක් ම දෙන්න මට තිබුනේ ලොකුම ඕනකමක්. 

එහෙම අගහිග කම් උහුලන්න ඕනෙ කෙනෙක් නෙමෙයි ඔයා. පව් මම වගේ පව්කාරයෙක් එක්ක ඇවිල්ලා ඔයාටත් ඒ පව ගෙවන්න උන එක ගැන මගේ හිත වෙලාවකට මටම දොස් කියනවා. 

අපි දෙන්නා තුන්දෙනා වෙද්දී නම් තවත් මේ ජිවිතේ බර වැඩියි කියලා  මයි මට හිතුනේ. පොඩි පොඩි රස්සාවල් කරලා මම ඉතිරිකර ගත්ත සොච්චමෙන් හැමදාටම ජිවිතේ ගැටගහගන්න අමාරුයි කියලා මට හොඳටම තේරුනා. 

ඒක තේරුන හින්දා ම වෙන්න ඇති ඔයාත් ටවුමේ තිබුන පොත් බඳින වැඩපල හරි යන්නම් කියලා මට කියන්න ඇත්තේ. ඒත් මේ අපි දෙන්නගෙ පැටියාවත් කුසේ තියාගෙන ඔයා කොහොමද වැඩට යන්නේ. 

නෑ..... හැම අතින්ම අගහිග කම් තිබුනත්  ඔයාව එහෙම යවන්න මම කවදාවත්ම හිතලා තිබුනෙ ​නෑ. 

මගේ ලෝකේ ඔයාව රැජිනක් වගේ තියන්න මම සිහින මැව්වත් දිනෙන් දින ඉහළ යන අපේ ජිවිත සටන එන්න එන්නම දරුණු වුනා.  

ඔයාටයි ඔයාගේ කුසේ පූදින මගේ පුංචි පැටියාටයි කොහොම හරි ලස්සන ජිවිතයක් හදන්න මම ගත්ත තීරණයට අනුව තම​යි අල්ලපු ගමේ තිලකසිරි ගේ පණිවිඩයට මමත් කොළඹ යන්න හිත හදා ගත්තේ. 

හිතේ දුකෙන් හරි ඔයාව මගේ අක්කට බාරදීලා මම කොළඹ ආවෙ අපේ ඉදිරි ජිවිතය ගැන හිතලා මයි.   මෙලොව එළිය බලන්න ඉන්න අපේ  පැටියා ගෙ වාසනාවටම වෙන්න ඇති මම නොහිතපු විදිහට මගේ සුදුසුකම් වලට අනුව හොඳ රැකියාවක් ලැබුනේ.   ටික දවසක් ගිහිල්ලා  පිළිවෙලක් වෙලා පුංචියට ගෙයක් කුළියට අරගෙන යාලව ත් හැකි ඉක්මනින් මගෙ ලඟට ගන්න තමයි දැන් මගේ එක​ම බලාපොරොත්තුව.  

මම මෙහෙ ඉඳගෙන මේ වගෙ සිහින මවද්දි  ම​ට දැනෙනවා  ඔයා මේ ගොම්මනේ දොරකඩ ඉඳගෙන ඉමක් නොකන් නොපෙනෙන ඈත වෙල් යය දිහා බලාගෙන කල්පනා කරනවා ඇති කියලා. ඔයා ගැන කල්පනා කරද්දි මට දැනෙන වේදනාව කියන්න ඔයාට වගේම මටත් කාත් කවුරුත් නෑ කියලා දන්නා නිසාම වෙන්න ඇති මගේ අතින් මේ වගේ කවි ලියැවෙන්න ඇත්තේ 

මම එනතුරු ගෙට වෙලා අපේ පැටියාවත් බලාගෙන පරිස්සමින් ඉන්න මගේ මැණික.

හිතේ හිරු සඳු රාහු ගිල ඇත 

                 දොඩන්න නෑ තවත්       දහිරිය

පෙනේ සැම තැන වියරු ඡායා 

                 නැ​ගේ හදතුල සිහින්     කෙඳිරිය

      නැතේ දෙපයට වාරුවක් දිව එන්න 

                  හනිකට සොයන්             මිහිරිය 

 වැදේ හිරිකඩ නොයිඳ දොරකඩ 

                   යන්න ගෙතුළට අඳුර      පැතිරිය 

~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

Saturday, January 17, 2026

සිහින අතර රැඳී ඉමු (ශනිදා දහයට)

 සිහින අතර රැඳී  ඉමු 

දුවන පනින දඟේ  දුක            දුරලා

සිතට දැනුන සුවේ නැත        මැකිලා

සිසිල ගෙනෙන දොලේ සිරි      විඳලා

ගෙවපු ලපටි වියේ මන           රැදිලා

සුවඳ බෙදන සියුම් පෙති        දිලිසේ

නොයෙක පැහැති පියුම් ඇති  රිසිසේ

බටිති මලිති පැටව් ගැයු         රසසේ

මිහිරි හඬට සවන් දෙමු         රහසේ

මහද අරණ පිපී මල          නොයිඳු​ල්

නුඹය ගලන රිදී ගඟ         මනලොල්

දිනෙක සුවය සදා දෙන       සිසිලැල්

සිහින අතර රැඳී  ඉමු          සැමකල්

ගජ ඡන්දස - දියකෙළි විරිත  ඇසුරින් 

~~ ලියෝනි අමරතුංග ~~

එලු සදස් ලකුණ ග්‍රන්ථයේ විරිත හැඳින්වීම
ලුහු සයින් ද ගණ
න ගණ ගුරින් බඳහොත්
අටවැන්න යති වී නම්
දියකේලි නම් වන්නේය

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

Wednesday, January 14, 2026

හද ගිලේ ශෝකේ

ආලයක්     හින්දා 

පෝරුවක්   බන්දා 

නෑන වත්  කැන්දා 

සීලයත්      බින්දා 

ඈ එදා      බාලේ 

හා කියූ     තාලේ 

දැක්වු පෙම් ලීලේ 

කෝ මෙදා  රාලේ 

සීනයක්     වාගේ 

දැන් අපේ    දීගේ 

නෑ දැනී     රාගේ 

දෝසෙදෝ කාගේ 

කාලයක්  තිස්සේ

වේදනා    අස්සේ

ආදරේ    වැස්සේ

නෑ තෙමී  සිත්සේ

(ප්‍රීති  විරිත ඇසුරෙන්) 

 පාදයකට ර - ගණය සහ ගුරු අක්ෂර දෙකකි.

~*~

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

Saturday, January 10, 2026

දෙදෙනම නිදි වරා ම රැය ගෙවාවි (ශනිදා දහයට)

පළමුව දුටු දිනේම            දුරතියාම

හද තුළ බැඳි සෙනේට ඉඟි    කලාම

මගෙ සිත දිව ගියේම ඔබ   සොයාම

නැත අහවර උනේම නෙතු    කෙවීම

ගෙන මගෙ හද කොහේට  පියැඹුවේද

යලි නොම එයි  කියාම      ලතවුනේද

දිගු රැය සිත සිතාම         එළිකලේද

පෙර දින පිදු සිනාව         වියැකුනේද

නෙතු කොනකින් බලාල   හිනැහුනාම

සිත සතුටින් තියේවි         සැනසිලාම

නුබ තල වැහි වලාව        විසිරුනාම

අපි ඉඟිලෙමු අපේම       ලොවපුරාම

සඳ දිය උතුරලා ම හද          පිරේවි

තරු කැට නෙතු අයා ම ළඟ     හිදීවි

මද පවනද හොරෙන්ම ඉඟි     කරාවි

දෙදෙනම නිදි වරා ම රැය     ගෙවාවි

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

Wednesday, January 7, 2026

නැවත හමුවෙමු ......

නැවත හමුවෙමු

නොහදුනන නෙත් දහස් ගණනක් අතර දුටු රුව සෙනෙහෙ තැවරූ
තෙපල රහසක් තදින් ලියැවුනි බිඳ දමා හද ගැබෙහි             ඉවුරූ
මවන රසවත් සුපෙම් හසරැළි ලැඟුම් ගත් කළ හිතට          නුහුරූ
හමන පවනත් දෙවන සිසිලස සමඟ යැද්දේ පහස             සොඳුරූ

යනෙන මඟ තොට තනිය මඟහැර දෙඅත් පටලන ඇවිද     ගියදුර
මතක සටහන් බවට පෙරළී හෙළයි සුසුමන් කඳුළ            හිමිකර
අවට ලෙළදෙන තුරු ලතාවන් තවම පෙරලෙස මවන        සිරිඟර
ගෙනෙන විරහව කෙලස ඉවසමි වසා ගමි මම දෙනෙත     තදකර

එදා සුළැඟිලි රන්හුයෙන් බැඳ සපත කල මුදු හැර       නොයන්නට
මෙදා සමුගෙන ගියේ ඇයි නුඹ දෙවිඳු තුරුළට යලි       නොඑන්නට
ලොවේ අස්ථිර කමක ඇති දුක මෙනෙහි කරගමි හිත   හැදෙන්නට
ඉතා නුදුරෙම සොයා එමි රස පෙම් කැදැල්ලක සුව         විඳින්නට

මදු ඡන්දස, පුණුඅතිපුණු විරිත ඇසුරෙන්  )

(විරිතේ ස්වභාවය - සිව්පද කාව්‍යයක එක් පාදයක මාත්‍රා 28ක් යොදා ලඝු ගුරු භේදාදිය නැතිව මාත්‍රා 7 න් 7 ට යතිය තබා එළි සම කොට ලියැවෙයි. )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

Friday, January 2, 2026

අත්තම්මා (ශනිදා දහයට)

අත්තම්මා 

දරුකැල වදා සෙනෙහස කැටි කර       ළයට
කිරි කර පොවා රුහිරය උන්  සැම      දෙනට
ඇති දැඩි කරන්නට විඳි නෙක දුක     ගැහැට
සිහිවන විට උනයි තුටු කඳුළැලි         නෙතට

ගුරු ගෙදරට යවා සිප්නැණ දියුණු       කෙරු
පුරවැසි ලෙසින ගුණ යහපත සිරස        දැරු
රට දැය නගන්නට පණ නළ තියෙන       තුරු
පිදුවෙමි දරුකැලක් ලෙස නුබ  දිලෙන     තරු

තඹරුන් සදිසි දරු කැල උන් වට        එතෙන
සතුටින් කෙළිදෙලෙන් තම දිවි මඟ       සරන
මරණින් මතු ලොවට දන්පින් ගොනු      කරන
අටියෙන් සිල් රකිමි පොහොයට බැති   පෙමින

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~~