Friday, October 24, 2025

දෝණි 12

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දින සති කෙමෙන් වියැකෙයි ජීවිත       අඹරේ
ළදැරිය සෙමෙන් පය ලයි මිහිමත    සොඳුරේ
ගුරු මව, පියගෙ තුට ඉතිරෙයි හද     ගැඹරේ
මුළු ගම පුරා කිරි සුවඳක් නිති          පැතිරේ

12 කොටස  

සතුටින්  එතෙර වසනා තම මිතුරු          දන
කරමින් කතා රිසිසේ කළඹවන              මන
ලබමින් ඔවා තම සතු පින්සාර              ගුණ
බිඳිමින් පෙරට යන ලෙසටයි ලැබුනෙ      අණ

මියැදෙන සිහිනයෙහි පණ නල      රැකගන්න
සිතුවලු එකින් එක කටයුතු            අරඹන්න
දරුවට ටිකෙන් ටික අන් බස       හුරුවෙන්න
ඇරඹිය විදෙස් බසකින් දුව            අමතන්න

කලබල මනසෙ ඇත සිතුවිලි           පැටලීලා
කලයුතු යමක් නැත හරිහැටි          වැටහීලා
ගිලිහෙන සුසුම් වා තලයට              මුහුවිලා
දුරකට ඇදෙයි අසහන ගති              පිබිදීලා 


නිති පෙරලෙනා සිතිවිලි පණ           ලබන්නට
ලොකු මුදලකුත් අවැසිය මුල          පුරන්නට
බිරිඳගෙ දේපලෙන් හැකි නොවැ   යැපෙන්නට
සිතුවලු එයින් කොටහක් දිය          කරන්නට

දහබිඳු හෙලා ගොණු කළ වත්කමෙ     කුසුම
මිලකර ගැනුම පහසුය නොමැතිව        සුසුම
එනමුදු මව්පියගෙ ඒකායන                පැතුම
රැකගෙන සැප විඳීමයි දිවි ඇති           තුරුම


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 11 කොටසට

👉13 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

8 comments:

  1. පෙර කොටස්වලට ගිහිල්ලා ආයෙත් මුල මතක් කරගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කාලෙකට පස්සෙ නිසා මුල මතක් කරගන්න වෙයි වගෙ. සමාවෙන්න ඉතින් මගේ තමා ප්‍රමාද දෝශෙ.

      Delete
  2. හප්පා එන්න බැරි උන ටිකට කොටස් තුනක්ම ගිහින්නේ...හිමිහිට බලාගෙන එන්නම් ❤

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවාට මේ පැත්තෙ. හ්ම්... ගිහිල්ලා බලලා විස්තර කියන්නකෝ..

      Delete
  3. /දරුවට ටිකෙන් ටික අන් බස හුරුවෙන්න
    පර ගති හිස දරා සැරසිය හැසිරෙන්න//
    මට නම් මේ ටික නම් අවුල් වගේ
    මගේ ළමයි හට සිංහල බෑ කියවන්න
    ඉන්නේ පිටරටක නම් අපි මොනවා කරන්නද
    ඔහොම බනින එක ඇත්තට හරිද

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න හිත රිදුනා නම්... දරුවො පිටරට ඉද්දි එයාල වැඩියෙන්ම භාවිතා කරන භාෂාවට හුරු වෙනවා. ඒකෙ වැරදක් කියන්න බෑ ... ඒත් මගේ කතාව වෙනස්. තාම පිටරටකට ගියෙත් නෑ... මූදට හත් ගව්වක් තියාගෙන තමා මේ අය මේ කටයුතු කරන්නේ.
      අනික මම මුලින් ම කියුවා වගේ මේක ඔබගේත් මගේත් කතාව නෙමේයි. ගොතාගෙන යන කතාවක්.
      කොහොම උනත් මගේ කවි කතාව රස විඳින ඔබගේ රසවින්දනයට භාදා කරන්න මම කැමති නෑ. ඒ නිසා මම ඒ පදය ටිකක් වෙනස් කළා.
      ආයෙත් කියනවා.. ඔබට අපහසුතාවය ක් උනා නම් මට සමාවෙන්න 🙏

      Delete
    2. නෑ නෑ හිත රිදුනේ නැහැ . කවි සංවාදයකට දැම්මේ . එහෙම අය ගැනත් දන්නවා .

      Delete
    3. ඔව් සැබෑ ජීවිතේ එහෙම අය නැතුවාම නොවේ.

      Delete