Wednesday, November 5, 2025

දෝණි 14

  කවි කතාව


පසුගිය කොටසෙන්.................

කොටසකි වත්කමෙන් දැවුනේ අධි        මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු           දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ         හනික
ගුවනට මුසු කලේ හද බැති බර          ලෙසක


14 කොටස  

බරකින් මිදී නිදහස නිසි                විදින්නටයි
සුරතල්  දැරිය සමඟින කල         ගෙවන්නටයි
මුදලින් තිබෙන මදි පාඩුද           සොයන්නටයි
සිතමින් සැරසුනේ සවුදිය              පුරන්නටයි



නෑඹුල් දෝණි ටික ටික බස            හසුරන්නේ
'අම්මා' නොව 'මමී' කියලයි            අමතන්නේ
බෑනගෙ දුවගෙ නව සිතුවිලි            දළුලන්නේ
සීයයි ආච්චිගෙ හදවත                 කකියන්නේ

සියුමැලි දෙපා ඔසවා පිය නඟන               සඳ
නව ආරෙකට තෙපලයි කිරි සිනහ           මැද
'නොදොඩනු අම්මෙ හෙළ බස' දුව අසල    හිඳ
පැනවෙයි අණක් හද තුට හීයකිනි              විද

සිය දහසකිය පැතුමන් හදතුල              විසිරූ
ගුණ නැණ අමා දහරද යන මඟ           ඇතිරූ
මතු දින ලොවක් දිනනට හැකි යස         ඉසුරූ
ගොනු කල දෙමාපිය පසෙකට ගිය          අයුරූ

පුබුදා කුසුම් සහසක් හද විල්               තලයේ
සපුරා සියලු පියවර බල                 පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින්          රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින්             හිටියේ


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 13 කොටසට

👉 15 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, October 31, 2025

දෝණි 13 (ශනිදා දහයට)

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දහබිඳු හෙලා ගොණු කළ වත්කමෙ     කුසුම
මිලකර ගැනුම පහසුය නොමැතිව        සුසුම
එනමුදු මව්පියගෙ ඒකායන                පැතුම
රැකගෙන සැප විඳීමයි දිවි ඇති           තුරුම

13 කොටස  

"දරුවනි කිමද මේවා නැතිකර             ගන්නේ
වටිනව නොවෙද  මතුවට එය         සුරකින්නේ
පරදෙස නොගොස් හැකිනම් මෙහි නවතින්නේ"
සැම විට මව්පියන් ඔවුනට             පවසන්නේ

පවරන ලදුව දේපළ දරුවගෙ               නමට
බැහැනොවැ යලිත් කර පොවනට එම   දෙසට
එනමුදු ඔවුනගේ කඳුළැළි පිරි            නෙතට
වැළපෙනු මිසක විසදුම් කොයිබ ද        දුකට

මෙවැනි වු පින් බිමක් සක්විති ගලෙනි     පෙරා
සෙවුමට හැකිද පිහිනා සාගරය               ඉරා
නෙක ඵල වැලින් යුතු පෝශිත වසර         පුරා
හිනැහෙන කෙත් වතුද දියඇලි කොමළි    දරා



රට දැය නගන්නට ඔවුනට නොමැත      සිතක්
ඉඟිළිල යන්න ඇත ලොකුවට ඕන         කමක්
සිහිනය කෙලෙස හෝ මල්ඵල ගැනෙන හෙටක්
පිලිබඳ තැවි තැවී තුන්සිත විඳින            දුකක්
  
කොටසකි වත්කමෙන් දැවුනේ අධි         මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු            දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ           හනික
ගුවනට මුසු කලේ හද බැති බර           ලෙසක


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 12 කොටසට

👉14 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, October 24, 2025

දෝණි 12

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දින සති කෙමෙන් වියැකෙයි ජීවිත       අඹරේ
ළදැරිය සෙමෙන් පය ලයි මිහිමත    සොඳුරේ
ගුරු මව, පියගෙ තුට ඉතිරෙයි හද     ගැඹරේ
මුළු ගම පුරා කිරි සුවඳක් නිති          පැතිරේ

12 කොටස  

සතුටින්  එතෙර වසනා තම මිතුරු          දන
කරමින් කතා රිසිසේ කළඹවන              මන
ලබමින් ඔවා තම සතු පින්සාර              ගුණ
බිඳිමින් පෙරට යන ලෙසටයි ලැබුනෙ      අණ

මියැදෙන සිහිනයෙහි පණ නල      රැකගන්න
සිතුවලු එකින් එක කටයුතු            අරඹන්න
දරුවට ටිකෙන් ටික අන් බස       හුරුවෙන්න
ඇරඹිය විදෙස් බසකින් දුව            අමතන්න

කලබල මනසෙ ඇත සිතුවිලි           පැටලීලා
කලයුතු යමක් නැත හරිහැටි          වැටහීලා
ගිලිහෙන සුසුම් වා තලයට              මුහුවිලා
දුරකට ඇදෙයි අසහන ගති              පිබිදීලා 


නිති පෙරලෙනා සිතිවිලි පණ           ලබන්නට
ලොකු මුදලකුත් අවැසිය මුල          පුරන්නට
බිරිඳගෙ දේපලෙන් හැකි නොවැ   යැපෙන්නට
සිතුවලු එයින් කොටහක් දිය          කරන්නට

දහබිඳු හෙලා ගොණු කළ වත්කමෙ     කුසුම
මිලකර ගැනුම පහසුය නොමැතිව        සුසුම
එනමුදු මව්පියගෙ ඒකායන                පැතුම
රැකගෙන සැප විඳීමයි දිවි ඇති           තුරුම


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 11 කොටසට

👉13 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, October 18, 2025

දෝණි 11 (ශනිදා දහයට)

  කවි කතාව

පසුගිය කොටසෙන්.................

යුවළට ලැබුන ඒ කුළුඳුල් රෝස              මල
දැක තුටු වෙවී ගී මුමුණයි කුරුළු          කැල
සමනලු තටු සලා පියඹයි සෑම               කල
සුරඟන රැල් සලා සරසයි සිහින            වැල


11 කොටස  

එතෙරට යන්න සිහිනය සිත යට        සැඟවී
ඇති බව සිතා මෙහිදී නම දුන            මැනවී
මව සහ පියා තම සතු උරුමය         බොඳවී
කටයුතු කරන්නට විය හෙට ගැන       ලතවී

හෙළ තාලයට බැහැ දෝණිට නම      දෙන්න
සුදුසුම එමලිනා බව හිතුවලු              ඔන්න
වැඩිහිටි සෑම දෙනගෙත් දොළ       සනසන්න
තැබුවලු මැද නමක් වංසෙට       ගැලපෙන්න

එමලින් සෙව්වන්දි දිවියට සවි        ගෙනෙන
සුරඟන් පරයමින් නෙතු විණිවිද        හෙලන
නටමින් දස අතෙහි කිංකිණි හඬ       නඟන
දිළෙමින් සමකරයි බැබලෙන මිණි      පහණ


හැකි'යුර විවිධ රස මසවුළු කර         පින්නා
ගම වැසි සියලු දෙන නිතරම යන       එන්නා
දැක බිලිඳිය සෙනෙහෙ සයුරේ    කිමිදෙන්නා
නිති සහයෝගෙ දීමට ඇප කැප       වෙන්නා


දින සති කෙමෙන් වියැකෙයි ජීවිත       අඹරේ
ළදැරිය සෙමෙන් පය ලයි මිහිමත    සොඳුරේ
ගුරු මව, පියගෙ තුට ඉතිරෙයි හද     ගැඹරේ
මුළු ගම පුරා කිරි සුවඳක් නිති           පැතිරේ


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 10 කොටසට

👉 12 කොටසට 

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, October 11, 2025

සුපුරුදු සෙනෙහසින් නැවතත්....


 
 

📞  හලෝ ... 


    ආ ඉතින් කොහොමද සැප සනීප .. මොකද සද්දයක් වත් නැත්තේ කියලා     බැලුවා ...

    මොකෝ බ්ලොග් එකට උනේ කාලෙකින් ලියලා නෑ නේද?


    ආ... අනේ බොහොම ස්තුතියි කතා කලාට. ඔව් ඉතින් ආයෙම ලියන්න ගන්න ඕනේ. 

    ඒත් ඉතින් ......

     කොහෙන් පටන්ගන්නද කියලා මටම හිතාගන්න බැරුවයි මේ ඉන්නේ.


    ආ ඒ ගැන වැඩියේ හිතන්න එපා. 

    අපි නවත්තපු තැනින් පටන් ගමු කෝ ඈ     .. 

    

    හරි හරි මම උපරිම උත්සාහ කරනවා හැකි ඉක්මනින් ලියන්න පටන් ගන්න. 


    බොහොම ස්තුතියි 


~~~~~~~~~~~


මගේ හිතාදර රසික රසිකාවියනි යහළු යෙහෙළිය නේ, අවුරුද්දකටත් වඩා වැඩි කාලයකට පසු නැවතත් ඔබ සැමගේ නිර්මාණ රස විඳීමටත්  .. මගේ නිර්මාණ එළි දැක්වීමටත් ඉතා සුදුසු තෝතැන්නක් වන මගේ බ්ලොගයට ගොඩ වදින්න අවසර......

    ඔබ සැමගෙන් සහ ලිවීමෙන් ඈත් වී සිටිය ඒ කාලය තුළ මා ලබපු ඉතාම ශෝකජනක සහ සතුටුදායක අත්දැකීම් හා ඒවා මගේ ජිවිතයට ඇතිකළ බලපෑම් ද බොහෝය.  ඒවා සමහරක් මගේ ජීවිතයට මෙතරම්ම බද්ධ වී ඇති බවක් වටහා ගන්නා විට සියල්ල සිදුවී හමාරය. මෙවන් තත්ත්වයක් යටතේ  මට මානසිකව සුවපත් විය හැක්කේ මෙවන් නිර්මාණ එළිදැක්වීම තුළින්ම බව වටහා ගනිමින් නැවතත්  සෑම සතියකම ශනිදා 10 ට මෙසේ ඔබගේ නිවහනට ගොඩ වදින්නට තීරණය කලෙමි. 


    මේ සඳහා මේ බ්ලොගය තුළම සැරිසරන මගේ දයාබර යහළු මිතුරු කිහිප දෙනෙකුගෙන් ලද දිරිගන්විමද මෙහිදී සදහන් කල යුතුමය. 


   ඉහතින් මා සදහන් කලේ එවන් දයාබර ඇමතුමක කොටසකි. 


    ඒ සැමදෙනාටම ස්තූතිය පළකරමින් ඔබ සැම දෙනාටමත් මගේ ආලින්දයට ගොඩ වන්නට පුද කරන සුහද ඇරයුමයි මේ ...  

මතකනේ මගේ දෝනි කවි කතාව.  කත් අතර මඟ නැවතුනා. දැන් ඉතින් ඒක ආයේ ලියන්න ගන්න කාලේ හරි. . ඒකෙ කොටස් 10 ක්  පල කළා. දැන් ඉතින් 11 වෙනි කොටසට තමා යන්න ඕනෙ. මතකද කතාව .....

හරි... අන්තිමට අර ඉස්කෝලේ ගුරු යුවලට ලැබුන දරුවා උස් මහත් වෙලා යුග දිවියටත් පිවිසුනා නේ. මම කතාව නවත්වද්දී  දෙදෙනාට පුංචි කෙලි පැටියෙක් ලැබුනා විතරයි. එහෙනම් ඒකත් දිගටම අරගෙන යමුකෝ. මම නැවත කතාව දමන්නම් නවත්වපු තැන ඉඳලා ම.  ඒ කතාව තුළ මෙතෙක් කල් මා සමඟ රැදී සිටි ඔයාල හැමෝටම ස්තුතියි. 


Saturday, February 3, 2024

දෝණි 10 (ශනිදා දහයට)

  කවි කතාව

පසුගිය කොටසෙන්.................

තැබුනිය විරාමය සිහිනෙට යන           නොරට
සොයනට යෙදුනෙ බිරිඳ ගෙ දුක සැප   සොඳට
පිබිඳුනි නෙක පැතුම් මහ මෙර ලෙස       උසට
ලබනට දිවි විජය නුඋපන්  හෙට             දිනට


10 කොටස

දින සති මාස ගෙවමින කල ගත        කරුනේ
දියණිය තවත් පිවිතුරු වී ඔප             වැටුනේ
කුස දරනුයේ පින් කඳකැයි ඉඟි        කෙරුනේ
ගම විසු සැමද විමසිල්ලෙනි ළඟ          රැඳුනේ


සිදුවුන සිතැඟි ලතැවුල් නුහුගුණ         අතරෙ
සැමගෙම නෙතින් තුටු කඳුළැලි යලි     ඉහිරෙ
දැකුමට සිනහ මොලකැටි මුව      කමල'තරෙ
පුරමින පෙරුම් දෙවියන් අයැදියි         මිහිරෙ

පදවිය ලැබෙන තුරු ඉවසුව හැටි          පුදුම
මුහුදෙහි පතුලෙ සැඟවුණි හදවත         රිදුම
පියකරු බිළිදි සුවදැති සියුමැලි            පියුම
තුරුළෙනි මවගෙ සුරතල් බලනව     සැවොම


පවුලට එකතු වුනු සුන්දර කෙලි          පැටියා
සැමගෙම ආදරය, සෙනෙහස මැද       සිටියා
කිසි අකුසලක් විපතක් නොම වන       සැටියා
සියලුම දෙවියො රැක දේවා කිරි        කැටියා


යුවළට ලැබුන ඒ කුළුඳුල් රෝස             මල
දැක තුටු වෙවී ගී මුමුණයි කුරුළු          කැල
සමනලු තටු සලා පියඹයි සෑම               කල
සුරඟන රැල් සලා සරසයි සිහින            වැල

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 9 කොටසට

👉11 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.