Saturday, August 27, 2022

ආස හිතෙනව යලි ගයන්නට ...

 

 පැතුම

සීත මීදුම් සුළඟ අතරින් සෙමින් සවනට       කොඳුරලා
කීව රස පෙම් කතා එසඳෙහි තාම හදවතෙ    සිරවෙලා
රෑක සිහිනෙන් පාවෙලා විත් යහන අද්දර       සැතපිලා
 ආස හිතෙනව යලි ගයන්නට නොගැයු ගීතය  ගුලිවෙලා

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, August 19, 2022

සෙනෙහස

 සෙනෙහස

ලියූ රස වදන් දිවියට              පැතුසේම
ගැයූ සැටි මැවෙයි ලොවටම      රහසේම
ලයේ සෝ තැවුල් හිරු දුටු       පිණි සේම
මැකී ගියේ සෙනෙහස ලැබු        දවසේම
 
මැවූ සිහින වැල් හැම මොහොතක  නෑරා
  පියාසර කරයි නුබ මේකුළු               පීරා  
බලා ඉදිමි කිසිවෙකු දෙන තුරු      තෝරා
   හදේ සෙනෙහෙ දළුලන්නේ කිම      මෝරා  

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, August 12, 2022

මියැදුනු සෙනෙහස


මියැදුනු සෙනෙහස

 
මෙතෙක් කල් දුර ගෙවා ආවෙ ඔය අත        පතා
කොතෙක් තව දරන්නද අතීතයෙ කියු        කතා
ඇතෙක් බර සුසුම් පා කෙරුවෙ ඉවසමි        සිතා
එතෙක් නිහඬව සිටිනු කෙසේ කවි ගොත ගොතා

හිතෙත් මහ මෙර උසට පැතුම් ඇත රස      පතා
ලතෙත් හදවත රිදුම් දෙයි පහස ගැන         සිතා
නෙතෙත් කඳුලැලි ලිහී ගතු කියන කල        ඉතා
ගතෙත් එඩි සිඳී මියැදුනා දළුලන                ලතා

( රවුළු ඡන්දස -  වියන් විරිත ඇසුරෙන්  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, August 5, 2022

ආවර්ජනා

 මිහිරි වේදනා


සසර හුරු පුරුදු ලෙස ඔබේ රැව හද           බැඳන්
පැමිණි මඟ දෙස බලා විඳිමි තුට දුර             ඉඳන්
යලිදු සිහි වන විටදි එදා කියු රස                 වදන්
කෙලෙස ඉවසමිද මම හඬමි කඳුළැලි           රදන්

තනිව ගෙවු මොහොත කල්පයකි සෙනෙහස  රදන්
ගියෙද දුර ඈත ලඟ බව දැනුනි සුව              සදන්
පිරුනු තරු අහස යට හිඳිමි ඔය රුව           බදන්
කෙලෙස පවසමි සිතැඟි නොමැත පමණට   වදන්

( රවුළු ඡන්දස -  වියන් විරිත ඇසුරෙන්  ) 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.